,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

ලෝකයේ වසරකට වැඩිම මිනිස් ඝාතන සිදු කරන සතා මදුරුවා බව දැන සිටියාද?


2015 දී ලෝපුරා මැලේරියාවෙන් මිය ගිය සංඛ්‍යාව හාරලක්ෂ තිස්අටදාහ (438,000) කි. එයිනුත් වැඩි සංඛ්‍යාවක්
අවුරුදු 5 ට අඩු දරුවන්ය. හඳුනාගත් මදුරු වර්ග 3500 ක් පමණ මේ මිහිපිට සැරිසරති. වත්මන් මිනිස් වර්ගයාගේ පැවැත්ම වර්ෂ 190,000ක් ඈත අතීතයට දිවයන විට මදුරු අතීතය වර්ෂ මිලියන 100 කටත් අධික බැව් සොයාගෙන තිබේ.
මොස්කිටෝස් යන නම මදුරුවාට යෙදී ඇත්තේ ස්පාඤ්ඤ බසෙනි. little fly හෙවත් ‘පුංචි පියාසරයා’ යන අරුත මින් ඇඟවේ. මේ ‘පුංචි පියාසරයා’ පෘථිවි තලය මත වෙසෙන භයානකම ජීවියා ලෙසින් හැඳින්වුවහොත් ඔබ පුදුමවනු නිසැකය. එහෙත් සත්‍යය එයයි. ‘ක්රීං’ ගාගෙන හීන් හඬින් අපගේ කන වටා කැරකෙන මදුරුවා තව මොහොතකින් අපගේ ලේ ඇබින්දක් උරා බොන්නේ මාරාන්තික රෝගයකට හේතු සදමිනි.
වෙසෙසින්ම මිනිස් ජීවිතයට මරු කැඳවන්නේ මැලේරියාව පතුරුවන ඇනෝෆීලිස් මදුරුවායි. විසකුරු සර්පයන් වැනි මිනිස් ජීවිතයට තර්ජනයක් යැයි අප සිතා සිටින සතුන් මේ ‘හීන්සැරය’ අහලකටවත් නොඑයි.
වසරකට නයි විසෙන් මියයන්නේ ලෝකවාසීන්ගෙන් 50,000 කට ආසන්න සංඛ්‍යාවකි. මුහුදු ගමනේදී අතිශය භයානක අත්දැකීම් ගෙන දෙන මෝරුන්ට ගොදුරුවන්නේ මිනිස් ජීවිත 12 ක් පමණය. අප රටට විශේෂිත අලි – මිනිස් ගැටුම්වලින් වුව වසරකට අහිමිවන්නේ ජීවිත සියයකට අඩු සංඛ්‍යාවකි. ඝාතන රැල්ල නිසා ද ලෝ පුරා 50,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙති.

එහෙත් මදුරුවා එ් වගේ දෙගුණයක් ජීවිත බිලිගන්නා බැව් සමීක්ෂණ මගින් සොයාගෙන තිබේ. ඩෙංගු, සිකා, චිකන්ගුන්යා, එන්සෙෆලයිටීස් වැනි ජීවිත අවදානම් ගෙන දෙන රෝගයන්හි වාහකයා මදුරුවාය. වෙසෙසින්ම ගැහැනු සතාය. බිත්තර රැකගන්නට ලෙයින් සප්පායම් වෙන උන් එක් ජීවියකුගෙන් තවත් ජීවියකුට රෝග වහනය කරයි. රෝග පැතිරෙව්ව ද උන්ට ඉන් කිසිදු හානියක් සිදු නොවේ.
මිනිසාට පමණක් නොව සිවුපා සතුන්ටද උන්ගෙන් ගැලවීමක් නැත. වසංගත රෝග සතුන් අතර ද පතුරුවන්නට උන් සමත්ය. අශ්වයින්ට, බල්ලන්ට, ගවපට්ටි ආදියටද එන්සෙෆලයිටීස් වැනි රෝග බෝ කරන මදුරුවා උතුරු ඇමරිකාවේ පිනිමුවන්ටද දැන් තර්ජනයක් එල්ල කර ඇත. සොබා දහම පිළිබඳ නිරතුරු පර්යේෂණ කරන පරිසර විද්‍යාඥයන්ටද මදුරු උවදුර මහත් හිසරදයක් වී තිබේ.
ලෝ ප‍්‍රකට Nature සඟරාව මගින් මදුරු ගහණය ලොවෙන් තුරන්කර දැමුවහොත් කුමක්වේද යන ප‍්‍රශ්නය මෑතකදී පරිසරවේදීන් හමුවේ තබා ඇත. එහිදී ඔවුන් එක හෙළා පවසා ඇත්තේ මුලින් – මුලින් මාළුවන්ට, ගෙම්බන්ට, හූනන්ට සහ මකුළුවන්ට උන්ගේ ආහාර රටාව වෙනස් කර ගැනීමට සිදුවුවද ඉන් විශේෂ පාරසාරික හානියක් ඇති නොවන බවයි.
කීට විද්‍යාඥ ජෝශප් කොන්ලොන් පවසන්නේ ”අප හෙට දවසේ මදුරුවන් සහමුලින්ම නැති කළ හොත් උන් ජීවත්වූ පරිසර පද්ධතිය ටිකක් ඉකිබිඳ යළි සුපුරුදු ක්‍රියාවලියම කර ගෙන යාවි. මෙය හොඳට හිටින්නත් පුළුවන්. නරකට හිටින්නත් පුළුවන්.” යනුවෙනි.

රීඩර්ස් ඩයිජෙස්ට් ඇසුරෙන් – ‘ධ්‍යාන‘ සඟරාවට යොමු කළ ලිපියකි.
රෝහණ වෙත්තසිංහ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

‘වන්ඩර් වුමන්‘ ලෙස සැරසී කසාද බැඳලා

ලෝකයේ දිගම පූසා ‘ඔමාර්‘