, ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

යු ටියුබ් දිග්විජය කර මිලියන ගණන් උපයන අවුරුදු 6 සිඟිත්තා රයන්

අන්තර්ජාලයේ යූටියුබ් වීඩියෝ මාධ්‍යය තුළ විශාල වශයෙන් කථාබහට ලක්වූ ‘රයන්‘ නමැති සිඟිත්තා හා ඔහුගේ ක්‍රියාකාරකම් ඇතුළත් ‘රයන්ස් ටොයි රිවිව්‘ Ryan’s Toy Review නාලිකාව මේවනවිට බොහෝ අය හඳුනනවා. රයන් සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරන හැටි අම්මා තාත්තා සමග එක්වෙමින් විවිධ අත්හදා බැලීම් කරන හැටි, එළිමහනේ තවත් මිතුරු මිතුරියන් සමග එක්ව විනෝද වන හැටි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් මෙම නාලිකාවෙන් එළිදකින අතර ලොව පුරා කුඩා දරුවන් සිටින අම්මලා තාත්තලා දඟකාර වයසේ සිටින තම දරුවන්ට මෙම වීඩියෝ පෙන්වන්නට උනන්දු වන්නේ රයන් ඒවා ඉතා සිත්ගත් ආකාරයට ඉදිරිපත් කරන නිසාය.


ඇමරිකාවේ වාසය කරන පිලිපීන ජාතික පවුලකට අයත් රයන්ගේ වීඩියෝ 2015 වසරේ සිට අන්තර්ජාලයට එක්විය. ඒ වනවිට ඔහුට වයස අවුරුදු 4 කි. රයන්ගේ මව රසායන විද්‍යාව උගන්වන පාසල් ගුරුවරියක වූ අතර පියා ඉංජිනේරුවෙකි. රයන්ගේ වීඩියෝ මුල සිටම රයන්ගේ මව විසින් පටිගත කර තිබුණි. මෙම වීඩියෝ පටිගත කිරීම එතරම් වෘත්තීය මට්ටමේ නොවන සමීප රූප හා අනවශ්‍ය චලනයන් සහිතව ඒවා මුලින් ඉදිරිපත් වුවත් රයන්ගේ හුරුබුහුටි පෙනුම හා සිත් ඇදීයන දඟකාරකම් සහිත එම වීඩියෝ කාඅතරත් ජනප්‍රිය විය.
රයන්ගේ මව සියල්ල පසුපස සිටියත් ඇය කැමරාව ඉදිරියට මුහුණ දෙන්නට ඉදිරිපත් නොවීමද විශේෂයකි. රයන්ගේ පියා ඇතැම් වීඩියෝ වලට එක්වන අතර මවගේ නැගණියද ඇතැම් ඒවාට එයි.

2016දී අන්තර්ජාලයේ සියලුම යූටියුබ් නාලිකා අභිබවා රයන්ගේ වීඩියෝ නැරඹුම් වාර ගණන අංක 1 ට පත් විය. 2017 මේ වනවිටත් ඉදිරියෙන්ම සිටින්නේ එම නාලිකාවයි. සෑම පැය කිිහිපයකට වරක්ම එහි අලුත් වීඩියෝවක් ඇතුළත් වේ. රයන්ට තෑගි ලෙස සෙල්ලම් බඩු පිරිනමන්නට ලොව පුරා ප්‍රකට සෙල්ලම් බඩු සමාගම් ඉදිරිපත්වූ අතර ඔවුන් වෙළෙඳ ප්‍රචාරය පිණිසද මෙම නාලිකාව වටා එක්ව තිබේ. ඊට අමතරව දැන්වීම් මගින්ද ඩොලර් මිලියන ගණනක් උපයන තත්වයට මෙම නාලිකාව පත්විය.
මේ වනවිට රයන්ගේ පවුලේ මව හා පියා සිදු කරමින් සිටි රැකියාවලින් ඉවත්වී මෙම නාලිකාව වෙනුවෙන්ම කැපවී සිටී. ඔවුන් සියල්ලටම හරිහම්බ කරදෙන්නේ මෙම සිඟිත්තාය.

රයන්ගේ සාර්ථකත්වය ගැන ඇමරිකානු පුවත්පත් වාර්තා පළවෙද්දී කුඩා දරුවෙකු යොදවා මුල් ඉපැයීම ගැන නීතිමය ප්‍රශ්න මතුකරමින් එරට විවාදයක්ද පැනනැගි නමුත් ඔවුන් වාසය කරන ප්‍රාන්තයේ නීති අනුව එහි වරදක් නැති බව පසුව කරුණු පෙන්වාදීම නිසා එය විසඳිණි.
පාසල් යන පිරිමි දරුවෙකු වූ රයන්ගේ දැන් වයස 6 කි. ඔහුට ළාබාල නිවුන් සොයුරියන් දෙදෙනෙකු පසුගිය වසරේ ඉපදුණි. රයන්ස් ටෝයි රිවිව් නාලිකාවට මේ වනවිට මිලියන 8ක් සාමාජිකයෝ එකතුවී සිටී.

එයට සමගාමීව රයන්ස් ෆැමිලි රිවිව් යනුවෙන් තවත් නාලිකාවක්ද ඔවුන් අරඹා තිබෙන්නේ රයන්ගේ නිවුන් සොයුරියන්ගේ දඟකාරකම් හා විනෝද අවස්ථා එක්කරමිනි. ඊට අමතරව මපට් ගණයේ නාලිකාවක්ද ඔවුන් දැන් අරඹා ඇත. මේ සියල්ල නිතිපතා එක්කරන වීඩියෝ සමාගමක් ලෙස කටයුතු කරන බව වාර්තාවේ.
රයන්ගේ ජනප්‍රියතාව නිසා ලෝකයේ තවත් විවිධ රටවල සිඟිත්තන් යොදවා යූටියුබ් නාලිකා පවත්වා යාමේ ප්‍රවණතාවක් බිහිව තිබෙන අතර ඒ ඇතැම් ඒවාද සාර්ථකවී තිබේ.

පහත පළවන්නේ රයන්ගේ නාලිකාවෙන් උපුටාගත් වීඩියෝ දෙකකි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නිරුවත් කාන්තා රුවට සමාන නාරිලතා මල් ගැන සැඟවුණ කතාව

පිළිස්සී විරූපී වුණත් සදාතන ප්‍රේමයේ මිහිරෙන් ජීවිතය ලද ඕස්ට්‍රේලියානු මිස් අර්ත් තරගකාරිය