,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

පිළිස්සී විරූපී වුණත් සදාතන ප්‍රේමයේ මිහිරෙන් ජීවිතය ලද ඕස්ට්‍රේලියානු මිස් අර්ත් තරගකාරිය

පිළිස්සී විරූපීවීම නිසා සියල්ල අහිමි කරගත් මෙරට සිටි පැරණි සුපිරි නිරූපිකාවක ගැන දුක්බර කතාවක් මින් ටික දිනකට පෙර ලංකාවේ මාධ්‍ය තුළ පළවුණා. අනපේක්ෂිත ලෙස ඇතැමුන්ගේ ජීවිත වෙනස් කරවන්නට එවැනි සිදුවීම් හේතු වුණත් ඕස්ට්‍රේලියාවේ ටුරියා පිට්ගේ කතාව මීට හාත්පසින්ම වෙනස්.

වෘත්තියෙන් කැනීම් ඉංජිනේරුවරියක,ගත් කතුවරියක හා පරිසර වේදිනියකවූ ඇය උපතින්ම සුන්දර රූ සපුවකට හිමි කම් කී අතර මිස් අර්ත් තරගයේ රූප රැජිණි අපේක්ෂිකාවක ලෙසද තරග වැදුණ කෙනෙකි. ක්‍රීඩාවටද උනන්දුවක් දැක්වූ ඇය 2011 වසරේ ඕස්ට්‍රේලියාවේ කිම්බර්ලි ප්‍රදේශයේ අල්ට්‍රා-මැරතන් ධාවන තරගයක් අතරතුර ගින්නකට හසුවී තිබුනේ අනපේක්ෂිත ආකාරයටය. මෙම තරගයේ මැදදී විලක් තරණය කර තණකොළ සහිත පිට්ටනියක් පසුකර දිවයන්නට තිබුණ තැනකදී තණකොළ තුළ හටගත් ගින්නකට ඇයට මැදිවන්නට සිදුව තිබුණි.
මෙම ගින්නට ඇගේ සිරුර දැවී ගිය අතර ජීවිතය ගැළවුනේ අනූනමයෙනි. සිරුරෙන් සියයට 65 ක් පිළිස්සීමට ලක්වී අසාමාන්‍ය විරූපී තත්වයෙන් ඇය නැවත ජීවිතයට පිවිසියේ ඇගේ පැවති ජීවින රටාවම කණපිට හරවමිනි.
මෙම සිද්ධිය නිසා එම තරගය සංවිධානය කළ RacingThePlanet තරග සංවිධායකයින්ට එරෙහිව ඇය නඩු මගට පිවිසි අතර ඒ දිනවල ඕස්ට්‍රේලියාවේ ආන්දෝලනයක් ඇති කරමින් එම නඩුවද විභාග විය.
මේ සම්බන්ධ එරට පාර්ලිමේන්තුවේ විවාදයක්ද පැවති බව වාර්තා විය. පසුව එම සංවිධායකයින් උසාවියෙන් පිටත මෙම නඩුව බේරුම් කරගත්තේ ඇයට මිලියන ගණනාවක වන්දියක් පිරිනමමිනි.

මේ සියල්ල සිදුවෙද්දී වාසනාවට ඇයට කිසිදු වෙනසක් දැනෙන්ට ඉඩ නොදී ඇගේ ඉතා යහපත් පෙම්වතා ඇය වෙනුවෙන් කැපවී කටයුතු කළේය. වෘත්තියෙන් පොලිස් නිලධාරියෙකුවූ ඔහු ඇගේ ආත්ම ශක්තිය වඩවන්නට විවිධ දේ කර තිබුණි.
විරූපී වුණාය කියා ඇය ඇගේ වැඩ අත්නොහළ අතර පෙරටත් වඩා සවිමත්ව ජීවිතයට මුහුණ දුන්නාය. ඇගේ ජීවිත කතාව ලෝකයටම ආදර්ශයක් බව විවිධ තැන්වල ඇගයීමටද ලක්විය.
Young Australian of the Year සහ New South Wales Woman of the Year ආදී සම්මානයන්ටද ඇය පාත්‍ර විය.
2015 වසරේ ඇය පෙම්වතා සමග විවාහ දිවියට පිවිසි අතර පසුගිය සතියේ ඇය ගැන අලුත්ම ආරංචිය හෙළිකරමින් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඇය දරුවෙකු අපේක්ෂාවෙන් පසුවන බවයි.

මේ ගැන The Australian Women’s Weekly සඟරාවට ඇය මෙසේ පවසා තිබේ.
‘වසර 6 කට පෙර ඒ අවාසනාවන්ත සිද්ධිය නිසා මගේ දකුණු අතේ ඇඟිලි සියල්ල අහිමි වුණා. වම් අතේ එකයි ඉතිරි වුනේ. එහෙම දෙයක් වුණාට පස්සේ වැඩ කරගන්න අමාරුයි. මට අවශ්‍ය සියල්ල ඉටුකරගන්න ඔහු උදව් වුණා.
ඔහු රැකියාවත් අතෑරලා ඇවිත් මට පිහිට වුනේ. එවැනි පෙම්වතෙක් ගැන සිතාගන්න අමාරුයි.
මං දන්නවා මගේ පෙනුම ඔහුට වදයක් වන බව.. නමුත් ඔහු මට කිසිදා වෙනසක් කර නැහැ.
මට පණ නැවත ලැබුණ වෙලාවේ මගේ පිළිස්සුණ උදරය දුටුවාම කිසි දිනෙක දරුවන් ලබන්න හැකිවෙතැයි සිතුවේ නෑ.මගේ ස්වාමියා මයිකල් හා මම පෙම් කරන යුගයේ පටන් සිතූ පැතූ දේ වෙනසක් නැතිව ඉටු කරගන්නට දැන් හැකිව තිබීම ගැන සතුටුයි.
ඇත්තටම වෛද්‍යවරුන් පුදුම වුණා මට අභ්‍යන්තර හානි කිසිවෙක් නෑ බාහිර හානි පමණයි ඇත්තේ කීවා.එදා අඟුරු වෙලා තිබුණ මගේ උදරයේ සමට වෙනත් අයෙකුගෙ සමක් බද්ධ කරන සැත්කමක් කරලා තමයි හරි පෙනුමක් ගත්තේ.
සමහරුන්ට මෙහෙම දෙයක් වුනාම අහිමිවන දේ වැඩියි. නමුත් මං වාසනාවන්තයි. ජීවිතය හරි පුදුමයි. දැන් මං සිහින දකින්නේ මගේ අනාගත දරුවා ගැන‘

අද ශාරීරික වශයෙන් දුබලයයි කිසිසේත් නොහැඟෙන පරිදි ක්‍රියාශීලී ජිවිතයක් ගත කරන ටුරියා ඇයට වූ කරදරය වැනි දේ අන් අයට නොවන්නට එවන් විපතට පත්වූවන් වෙනුවෙන් ලෝකය පුරා ගමන් කරමින් තානාපතිනියක ලෙසද අරමුදල් රැස්කිරීමටද දායක වෙයි. ටුරියා නමින් ඇගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ.
පහත පළවන්නේ ඇය ගැන මෑතක පළවූ වාර්තා වැඩසටහනකි.


3 Comments

Leave a Reply
  1. මෙය උතුම් බුදුන්වහන්සේගේ ධර්මය අනුව තවත් කුසල් සහ අකුසල් සංස්කාරයක්ම පමණි.
    මෙයින් සියල්ල අනිතයයි දුකයි අනාත්මයි තහවුරැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

යු ටියුබ් දිග්විජය කර මිලියන ගණන් උපයන අවුරුදු 6 සිඟිත්තා රයන්

කොරියාවේ ඉපදුණ අයට උපන්දින නැති වීම හා වයස වැඩිවීම සිදුවන්නේ කෙසේද?