, ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

ගුවන් යානා ගමන් වලදී පිරිනමන ආහාර වේල් වල වෙනස්කම්

ගුවන් යානාවකින් රටකින් තව රටකට ගමන් කරන මගීන් බොහොමයකට ඒ ගමන අතරතුරදී යානාව මගින් පිරිනමන ආහාර වේල පිළිබඳ රසවත් මතකයක් තිබෙනවා.
මේ ආකාරයට ආහාර ලබාදීමක් ගුවන් මගී ප්‍රවාහන සේවා ඇරඹූ මුල්කාලයේ සිදුව තිබුනේ නැහැ. මුල්වරට වාණිජ ගුවන් යානාවල මගීන්ට ආහාර ලබාදීම ඇරඹී තිබුනේ 1919දී හැන්ඩ්ලි පේජ් ට්‍රාන්ස්පෝට් සමාගම ලන්ඩන් හා පැරිස් අතර ගුවන් ගමන් සිදුකරන අතරවාරයේය.
අද බොහෝ ගුවන් සමාගම් මගීන්ට ප්‍රධාන ආහාර වේල් පිරිනමන නමුත් මුල් කාලයේ බොහෝ විට පළතුරු හා සැන්ඩ්විච් වැනි ආහාර පිරිනැමීමක් ගුවන් යානාවලදී සිදු කර තිබුණි.
ගුවන් යානාවල පිරිනමන ආහාර වර්තමානයේ විවිධ ස්වරූප ගන්නවා. එම ගමන යෙදෙන රට අනුව ඒ රටේ ආහාර සංස්කෘතියට අදාළ ආහාර වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් පිළියෙල කිරීමද විශේෂත්වයකි. එමෙන්ම ගුවන් යානා සමාගම අනුවද ආහාර වර්ග තීරණය වන අතරම යානය තුළත් බිස්නස් හා ඉකොනොමි පන්ති අනුව ආහාර වර්ග වෙනස්කම් වලට ලක්වන අවස්ථා තිබේ.
උදාහරණයක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ උදේ ආහාර වේලක් සඳහා කිරිබත් තිබිය හැකි වුවත් වෙනත් යානයක එවැන්නක් ආහාර මෙනුවේ නැති විය හැකිය. ඉන්දියානු ගුවන් සේවාවන් තුළ චිකන් කරි සාදන ආකාරය සහ එමිරේට්ස් යානයක චිකන් කරි සාදන ආකාරය දෙවිදිහකි. ඉන්දීය ආහාර වලට ඔවුනට ආවේනික තෙල්වර්ග මුසු කරන නිසා ඇතැම් විට වෙනත් රටවල අයට ඒවා නුහුරු විය හැකිය.
සමහර විට ජපන් ජාතිකයෙකු ශ්‍රී ලන්කන් යානයක ගමන් කරනවා නම් ඔහුට කන්න ආසා හිතෙන දේ එම මෙනුවේ නොතිබිය හැකිය. කුඩා දරුවෙකුට වුවත් අවශ්‍ය වන ආහාර පොදුවේ පිරිනමන්නේ නැත.එවැනි අපහසුතා වලින් මිදීමට මේ වනවිට බොහෝ ගුවන් සමාගම් පූර්ව ඇණවුම් (pre order) අවස්ථාව මගීන්ට ලබාදී ඇත. ඒ අනුව කිසියම් මගියෙකු ගුවන් ගමන අරඹන්නට පෙර කල් ඇතිව තමන්ට පොදුවේ පිරිනමන මෙනුවෙන් බාහිරව ආහාර ඇණවුම් කර එදිනට ලබාගත හැකිය.
සංස්කෘතිය අනුව,ළමා වැඩිහිටි බව අනුව, වෛද්‍ය හේතු අනුව, ආගමික හේතු අනුව සහ ශාකාහාර පුරුදු අනුව මෙම ආහාර ලබාදෙන්නට එම සමාගම් බැඳී සිටී.
ශ්‍රීලන්කන් සමාගමේ ඒ ආකාර අමතර මෙනුව අන්තර්ජාලය ඔස්සේම ඇණවුම් කරන්නට හැකියාව ලබාදී ඇත.( එම යොමුව- http://www.srilankan.com/en_uk/flying-with-us/meals )
ගුවන් ගමනකදී ආහාර පිරිනැමීම බොහෝ විට ආරම්භ කරන්නේ යානය නිශ්චිත උසකට නැගගත් පසු සෙලවීම් අවමවී තිරස් ගමනේ යෙදෙන අවස්ථාවේය. ඉකොනොමි පන්තියේදී ගුවන් සේවක සේවිකාවන් ආහාර කරත්තය රැගෙන අසුනෙන් අසුනට ගොස් ට්‍රේ එකක තැබූ ආහාර වර්ග සැමටම බෙදාගෙන යයි. තමන් කැමති මස් සහිත ආහාරද රහිත ඒවාද ආදී වශයෙන් තේරීම් කරන්නටත් බීම වර්ග තෝරා ඉල්ලා ගන්නටත් අවස්ථාව මගීන්ට ලැබේ.
ඉකොනොමි පන්තියේ ආහාර පිරිනැමීමට වඩා වෙනස් ආකාරයක ව්‍යාපාරික පන්තියේදී සිදුවේ. එහිදී තමන්ට ආහාර උවමනා වේලාව අනුව හෝටල් ක්‍රමයට ඒවා ගෙන්වා ගන්නට හැකිය. මදි පාඩු වෙතොත් ගුවන් සේවිකාවෙන් දක්වන සැලකිල්ලද අනෙක් පන්තියට වඩා වෙනස්ය.
ගුවන් ගමනකදී ආහාර ලබාගැනීමට භාවිතා කරන හැඳි ගෑරුප්පුද ආහාර වේල සමග මගීන්ට සපයයි. 9/11 ඇමරිකානු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බොහෝ ගුවන් සමාගම් හැඳි ගෑරුප්පු පිරිනැමීමේදී ලෝහමය ඒවා ඉවත් කර ඒ වෙනුවට ප්ලාස්ටික් ඒවා දෙන්නට පටන්ගත් බව පැවසේ. ගුවන් ගමන් වල ආරක්ෂාව සම්බන්ධ විධිවිධාන මෙයට හේතු විය. කෙසේ වෙතත් සිංගප්පූරු ගුවන් සේවය ඇතුළු ගුවන් සමාගම් කිහිපයක් මෙම වෙනස තවම සිදු කර නැත.
දුරගමනක් යාමේදී ගුවන් යානයේදී ඇතිවන බඩගින්න නිවාදැමීමට මෙම ආහාර වේල සමත්ය. ඒවා නොමිලේ ලැබෙනු ඇත යන්න බොහෝ අයට පවතින වැරදි මතයකි.

ගුවන් ගමන් අතර ලබාදෙන මෙම ආහාර වේල සෑම ගුවන් සමාගමක්ම නොමිලේ පිරිනමන්නේ නැත. ආසියානු ගුවන් සමාගම් බොහොමයක් ආහාර වේල ටිකට්පතේ ගාස්තුව තුළම දරාගනිමින් නොමිලේ පිරිනැමුවත් යුරෝපයේ හා ඇමරිකාවේ හා චීනයේ ඇතැම් ගුවන් සමාගම් ඒ සඳහා වෙනම මුදල් අයකෙරේ. අවශ්‍ය කෙනෙකුට මුදල් ඉතිරිකරගන්නට ආහාර නොගෙන සිටීමටද ඒ අනුව හැකිය.
මෙම ආහාර වේල් මුදලට ලබාදීමේදී මිල සම්බන්ධ විවාදයන්ද හටගෙන තිබෙන අතර ඇතැම් සමාගම් අධික මිල අයකිරීම ගැන මගීන්ගේ විවේචනද පළවී තිබේ.

ගුවන් ගමන අතර ලබාදෙන ආහාර බොහෝවිට පිළියෙල කරන්නේ යානය ගමන් කරන්නට පෙර ගොඩබිමේදීය. ඒ සඳහා ඒ ඒ ගුවන් සමාගම් සතුව වෙනම ආහාර සේවා සමාගම් පිහිටුවා ඇති අතර ඒ ආහාරවල තත්වය මැන බැලීම තරු පහේ හෝටලයක ආහාර අධීක්ෂණයට සමාන ප්‍රමිති පරීක්ෂාවකින් සිදු කෙරේ. 1992 යුරෝපයේ ගුවන් ගමනක් අතරතුර ආහාර විෂවීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය හැරුණු කොට මෑත කාලයේ මෙම ආහාරවල තත්වය ගැන නරක ආරංචි කිසිවක් වාර්තාවී නැත.


What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

2 Comments

Leave a Reply
  1. It's doubtful that any airline charge for the meal they provide during the journey. I haven't heard such news so far.

  2. All US carriers charge for meals and alcohol in economy class except for long haul international flights. They do charge for baggages too.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

අල්ලපුගෙදර තරුණිය හොරෙන් කසාද බැන්ද ගංගුලි

අපි කඳුළු සලන්නේ ඇයි – පර්යේෂකයින් සොයාගත් විස්මිත කරුණු