, ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

ජපනුන්ට දියුණු වන්නට මග කී නාස්තිය අවමකරන ගුණාංගය

ජපානයට පැමිණි අලුත දවසක මම තවත් ජපන් ජාතික මිතුරකු සමඟ දිවා ආහාරය සඳහා අවන්හලකට ගොඩවැදුණෙමි. ආහාර කොතරම් රසවත් වුවත් එවකට හෂිවලින් (Chopsticks) කෑමට ඇති නුපුහුණුව නිසාම ඇණවුම් කළ ආහාරවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කොට ඒමට සැරසෙනු දුටු මගේ මිතුරාගේ මුහුණ ප්‍රසන්න නොවූ අතර, ඔහුගේ මුවින් පිට වූයේ ජපන් බසින් ‘මොත්තයිනයි’ (මොන නාස්තියක්ද මේ!) යන්නයි. ඇණවුම් කළ සියල්ල ආහාරයට ගන්නා ලෙස කාරුණිකව පැවසූ හෙතෙම කෑම ඉවත දැමීම අපරාධයක් බවත්, ජපානයේදී කෑම ඉතිරි කිරීම, එය සකස් කළ අයට කරන අගෞරවයක් ලෙස සලකනු ලබන බවත් පැවසූයෙන් බොහෝ කාලයක් වැය කොට අසීරුවෙන් වුවත් කෑම බඳුන් හිස් කිරීමට මට සිදු විය.

ජපන් භාෂාවේ ‘මොත්තයිනයි’ යන්න, ජපන් ජාතිකයින් විසින් මොනයම්ම හෝ සම්පත් නාස්තියක් දුටු විටදී ඒ පිළිබඳව තමන්ගේ අකමැත්ත සහ කණගාටුව පළකිරිමට යොදාගන්නා වචනයක් වන අතර එහි සරල තේරුම “මොන නාස්තියක්ද / නස්ති කරන්න එපා” වැන්නකි. එහෙත් ඉන් එහා ගිය, ජපන් සංස්කෘතිය තුළ කිඳා බැසඇති ගැඹුරු අරුතක් එයට ඇත. ජපානයේ මහායාන බුදුදහමේ සදහන් තම අවට ඇති සම්පත්වලට ගෞරවපූර්වකව සැලකිය යුතුය යන අදහස මත ගොඩනැගී ඇති මෙම සංකල්පය සම්පත් අරපිරිමැස්මෙන් ස්තුතිපුර්වකව පාවිච්චි කළ යුතුය යන තේරුමෙන් ජපන් සංස්කෘතියේ දර්ශනයක් (Philosophy of Moththainai) බවට පත් වී ඇති ආකාරය විමසා බැලීම වටී.

ජපානය යනු ශ්‍රී ලංකාව මෙන් ස්වාභාවික සම්පත් වලින් අනුන දිවයිනක් නොවන අතර එහි ඇති වටිනාම සම්පත ලෙස සලකන්නේ මානව සම්පතයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ගරාවැටුණු රාජ්‍යයක්‌ වූ ජපානය, නුතන ලෝකයේ සංවර්ධිතම රටක් බවට ගොඩනැංවීමේ කාර්යභාරය ඉටු කළේ වෙනයම් බලවේගයක් නොව ධෛර්යමත් ජපන් ජාතියයි. තම දේශය ගොඩනැංවීම තම ප්‍රධාන අරමුණ කරගත් ජපන්නු එදා “නාස්තිය” ශුන්‍ය කරගනිමින් හැකි සැමවිටම සම්පත් ප්‍රතිචක්‍රීකරණය (Recycle) කිරීමට වගබලාගත්හ. එකල ‘මොත්තයිනයි’ යන වචනය ගෙයක් ගෙයක් පාසා බහුලව භාවිතා කරන ලද්දේ වී ඇටයක දෙයක්, කඩදාසි හෝ රෙදි කැබැල්ලක් ඉවත දැමීම නොකළ යුතු බව දරුවන්ට ඒත්තු ගැන්වීම සදහාය. මෙය තරුණ වැඩිහිටි භේදයකින් තොරව, සියල්ලන්ටම ලෝකයේ සම්පත් සීමිත බවත් නිතරම සම්පත් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හා නැවත භාවිතයට (Recycle and Reuse) අදාළ නව ක්‍රමවේදයන් පිළිබඳ සෙවිල්ලෙන් සිටිය යුතු බවට මතක් කරන හා උනන්දු කරන අදහසක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට පැවතී ජපන් සංස්කෘතියේ නොසෙල්වෙන අංගයක් බවට පත්වී ඇත. අදටත් ජපානයේ නිවෙස්වල හා පාසල්වලදී දරුවන්ට මෙම දර්ශනය ප්‍රයෝගිකව උගන්වනු ලබයි.

ජපන් ජාතිකයන් කිසියම් ආහාරයක් ගැනීමට පෙර, සෑමවිටම ‘ඉතදකිමස්’ යනුවෙන් පවසන අතර එහි තේරුම, මෙම ආහාරය මේ ආකාරයෙන් පිළියෙළ කිරීමට දායක වූ (ගොවිමහතාගේ සිට) සියලු දෙනාට තමන් ස්තුතිවන්තවන බවයි. එසේම ජපනුන් තම ආහාර බඳුනේ කිසිවක් ඉතිරි නොකිරීමට සැම විටම උත්සාහ දරයි. ඇනවුම් කරන ආහාර අපතේ යෑම වැළැක්වීමේ එක් පියවරක් ලෙස, ඕනෑම කෑම වර්ගයක් ප්‍රමාණ කිහිපයකින් (Extra Small, Small, Medium & Large) ආදි වශයෙන්) ලබාගැනීමට හැකිවීම, ජපානයේ අවන්හල්වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි.

වරක් මම සහභාගී වූ වැඩසටහනක දී අපට දිවා ආහාරය සපයනු ලැබු අතර එයට තම දරුවන් දෙදෙනාද සමග පැමිණ සිටී මවක් කෑමට මා හා එක්ව අසුන් ගෙන සිටියාය. එහිදී ඇගේ බාල දරුවා කෑම ඉතිරි කළ අතර ඒ වනවිට ආහාර ගෙන අහවර වී සිටී මව නැගණිය ඉතිරි කළ කෑම ටික කන ලෙස වැඩිමල් දරුවාගෙන් කාරුණිකව ඉල්ලා සිටියාය. එයට එකඟ වූ දරුවා ඉන් අඩක් අපහසුවෙන් වුවත් ආහාරයට ගත්තාය. එයිනුත් ඉතිරි වූ ආහාර මව විසින් ආහාරයට ගත්තේ කෑම අහක දැමීම හොඳ දරුවන් විසින් නොකළ යුත්තක් බව දරුවන්ට පහදා දෙන අතරය. ඒ ජපන් ජාතික මව ආදර්ශයෙන් දුන් පණිවිඩය වැටහුණු මට ඇතිවුයේ ලැජ්ජාවකි. අපේ රටේ දී නම් අනිවාර්යෙන්ම සිදුවනු ඇත්තේ ඉතිරි කෑම ටික දෙවරක් නොසිතා කසළ බඳුනට හැලීම නොවේද.

ආහාර පමණක් නොව කඩදාසි, ඇඳුම්, රෙදි, වතුර ආදී සියල්ලක්ම නාස්තිය අවම වන ලෙස භාවිතයට ජපන්නු හපන්නු වෙති. භාවිතා කරන ලද භාණ්ඩ විකුණන අලෙවිසැල් (Recycle Shops) ජපානයේ ඉතාම සාර්ථක හා ජනප්‍රිය වාණිජ ව්‍යාපාරයක් වන අතර රටේ සෑම තැනකම පාහේ මෙවැනි අලෙවිසැල් දැකිය හැකිය. ඕනැම කෙනෙකුට තමන් භාවිතයට නොගන්නා භාණ්ඩ මේ වෙළෙදසල්වලට විකිණිය හැකි අතර එම භාණ්ඩ ඉතා ආකර්ෂණිය ලෙස ප්‍රදර්ශනයට තබනු ලබයි. ප්‍රකට වෙළදනාම (Brands) යට‍තේ අධික මිල ගණන් වල සිට සාමාන්‍ය මිල ගණන් දක්වා භාණ්ඩ මෙම අලෙවි සල් වල විකිණීමට තබා ඇත. ඇදුම්, සපත්තු, ආභරණ, පොත්පත්, පිඟන් භාණ්ඩ, සියලුම වර්ගයේ විදුලි උපකරණ, ගෘහභාණ්ඩ, සෙල්ලම්බඩුවල සිට යානවාහන දක්වා ඕනෑම දෙයක් මේ අලෙවි සල්වල විකිණීමට තිබේ. මෙහි ඇති විශේෂ ලක්ෂණය නම් මෙම භාණ්ඩවල තත්වය හා පිරිසිදුකම ඉතාම උසස් තත්වයෙන් පැවතීමයි. එසේම මෙම අලෙවිසල් දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියල්ලන්ම අතර එක සේ ජනප්‍රිය බවද කිව මනාය.

ජපන් ජාතිකයන් විශේෂ අවස්ථාවලට අඳින ‘කිමෝනෝ’ ඉතා වර්ණවත් වටිනා රෙදි වලින් නිපදවනු ලබන අතර තමන් විසින් භාවිතයෙන් ඉවත් කරන කිමෝනාවන් පෙර සදහන් කළ පරිදි භාවිතා කරනලද භාණ්ඩ විකුණන අලෙවිසැල්වලට විකිනීමට අමතරව එවායින් අලංකාර රෙදි සෙරප්පු (නුනෝ සෝරි), කාන්තා අත්බෑග්, පසුම්බි, හෂි රදවන, ටේබල් මැට්ස් සහ අත්පන්කා ආදිය නිපදවනු ලබයි. එම භාණ්ඩවලට ඉතාම ඉහළ ඉල්ලුමක් ඇති අතර ඉහළ මිලගණන්වලට විකුණනු ලබයි. මෙය සම්පත් උපරිමයෙන් භාවිතයට ගැනීමට අමතරව කාන්තාවන් බොහෝමයකට අදායම් මාර්ග උත්පාදනය කිරීමක් ද වීම අගය කළ යුත්තකි.

ජලය උපරිම ලෙස පාවිච්චිය සදහා ජපනුන් යොදාගන්නා අපුරු ක්‍රමවේදයක් වන්නේ වැසිකිළිවල වැසිකිළි බේසම පිටුපස ඇති ජල රැඳවුමේ ඉහළ ජල කරාමයක් සහිත බේසමක් සවිකොට (Sink) එහි පාවිච්චියට ගන්නා ජලය වැසිකිළි බේසම සේදීමට (Flush) භාවිතා කිරීමයි. ඊට අමතරව ෆ්ලශ් කිරීම සදහා කුඩා ජල ප්‍රමාණයක් වෙනුවෙන් එක් හැන්ඩලයකුත් වැඩි ජල ප්‍රමාණයක් සදහා තවත් හැන්ඩලයකුත් යොදා තිබීමද ජපානයේ බහුලව දැකිය හැකිය. ඒ අනුව අවශ්‍යතාව මත, අපතේ නොයන පරිදි ජලය භාවිතා කිරීමට ජපන් ජනයා පුරුදුව සිටී.

ජපානයේ කාර්යාලවල ඉවතලන කඩදාසි සෙසු අපද්‍රව්‍ය සමග එක්ව ඉවතලෑම වෙනුවට කඩදාසි කුඩා කැබලිවලට කඩන කුඩා උපාංගයක් භාවිතයෙන් කඩදාසි කැබලි කොට වෙනම ඉවතලන අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට එමගින් පහසු වේ. එපමණක් නොව ජපානයේ කසළ කළමනාකරණය ඉතා ක්‍රමවත් අයුරින් සිදු වන අතර කසළ වර්ගීකරණය කොට ඉවතලෑම සිදුවේ. මෙහි වඩාත් වැදගත්ම කරුණ නම් සියලුම ජපන් ජාතිකයින් මෙම කසළ වර්ගීකරණය වගකීමෙන් යුතුව අකුරටම ඉටු කිරීමට වගබලා ගැනීමයි.

මේ අනුව සිතන විට ජපන් ජාතිකයින් තම සියලු පරිභෝජනයන් ඉතාම සැලකිලිමත්ව අරපරිස්සමෙන් මෙන්ම සම්පත් උපරිම ලෙස ප්‍රයෝජයනට ගනිමින් සිදු කරන ආකාරය ඉතාම පැසසුම් සහගතය. ඔවුන් මේ සියල්ල සිදුකරනුයේ නීති රීතිවලට ඇති බිය නිසාවත්, තවත් කෙනෙකු කියන නිසාවත් නොව තමා අවට ඇති සම්පත් වල සීමිත බව දැන තම හදවතින්ම ඒවා රැකගැනීමට ඇති උවමනාව නිසාම බව කිව යුතුමය. ස්වභාවික සම්පත් ඕනෑවටත් වඩා ඇති නිසාමදෝ, සම්පත් ඉවක් බවක් නැතිව භාවිතා කරමින් සිටින ශ්‍රී ලාංකික අපට ජපන් ජනතාවගේ ‘මොත්තයිනයි’ දර්ශනයෙන් ගතහැකි පාඩම් බොහෝමයකි. ලංකාවේ අරණායක, මීතොටමුල්ල වැනි ඛේදවාචකයන් තවදුරටත් සිදුවීම වැළැක්වීම සදහා අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් බව ජපන් ජාතිකයන් අපට පෙන්වා දෙයි. නාස්තිය අවම කොටගනිමින් සම්පත් භාවිතය පිළිබඳ ආකල්පයන් කුඩා කල සිටම දරුවන් තුළ වර්ධනය වීමට සැලැස්වීමෙන් අනාගතයේ තම අවට ඇති සම්පත් පිළිබඳ වගකීමෙන් කටයුතු කරන සමාජයක් බිහිකිරීමට හැකිවනු නොඅනුමානය.

ජපානයේ සාගා විශ්වවිද්‍යාලයේ විද්‍යා හා උසස් තාක්ෂණික පශ්චාත් උපාධි ආයතනයේ
සංජි උදාරි සමරනායක


3 Comments

Leave a Reply
  1. Yes, I'm impressed but what about their dumping grounds like Sri Lanka, Vietnam, Nepal and some African countries.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඉස්ලාම් ලබ්ධිකයින් හොල්මන් අවතාර විශ්වාස නොකරන්නේ ඇයි?

ජපනුන් කෝච්චිවල නිදාගන්නේ ඇයි?