• ,

    Hot සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

    මීනී පෙට්ටිය නටමින් විනෝදවෙමින් ගෙන යන ඝානාවේ අමුතු සිරිත

    අප්‍රිකානු රටක් වන ඝානාවේ මළගෙවල් වල තිබෙන අමුතු චාරිත්‍රයක් දෙස ලෝකයේ අවධානය යොමුවී තිබේ. ඒ වූ කලි මළ මිනිය රැගත් මිනී පෙට්ටි විනෝදයෙන් නටමින් ගෙනයාමේ සිරිතයි. මියගිය තැනැත්තා හෝ තැනැත්තිය මියගිය පසුව සතුටින් තැබිය යුතුය යන අදහස පෙරදැරිව මියගිය අය වෙනුවෙන් ඇතිවුණ දුක සතුටකට පෙරළමින් මළ කඳ රැගත් පෙට්ටිය නැටුම් කණ්ඩායමක් අතට පවරා ඥාතී මිත්‍රාදීන් රැස් කරවා මෙම විනෝදවීමේ ක්‍රමය ඝානාවේ පවතී.
    එය එසේ ගෙන යන අවස්තාවේ මියගිය අයගේ ඥාතීන් හිතවතුන් අත්පොළසන් දීමද සිදුවේ.
    ඝානාවේ මළගෙවල් පවත්වන්නේ මංගල උත්සවයකටත් වඩා වියදම් දරාය.
    ලෝකයේ මළගෙයක් වෙනුවෙන් වැඩිම වියදම දරන්නේද ඝානාවේ බව කියැවේ. සාමාන්‍යයෙන් මේ කාලයේ ඝානාවේ මළගෙයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් අවම වශයෙන් වැයවන බවට ගණන් බලා තිබේ.
    කෙනෙකු මියගිය පසු එම තැනැත්තාට කරන උපරිම පුද සත්කාරය ඝානාවේ සිදු කරන්නේ අධික වියදම් මිනී පෙට්ටි, උත්සව ශාලා මෙන්ම විශාල පිරිස් ගෙන්වූ අවමංගල සාද පවත්වමිනි.
    ඝානාවේ මෙම ක්‍රමය අනුගමනය කරමින් ඇමරකාවේද ඇතැම් අප්‍රිකානු ඇමරිකානුවන්ගේ අවමංගල උත්සව මේ ආකාරයට පැවැත්වීමේ සම්ප්‍රදායක් 2010 වසරේ සිට පමණ බිහිව තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
    පහත පළවන්නේ ඝානාවේ මිනිපෙට්ටි සමග කරන නැටුමකි


  • , ,

    Hot Popular සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

    මමයි නුඹේ වියපත් බඹරා ගීතයට පසුබිම්වූ වයලීන් ප්‍රේමය

    ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් ගායනා කරන වියපත් බඹරා ගීතය කාලයක් තිස්සේ මතකයේ රැඳුණ ජනප්‍රිය ගීතයක්.
    පසුගිය කාලයේ විවිධ අයුරින් කථාබහට ලක්වූ වැඩිහිටි පෙම්වතා හා තරුණ පෙම්වතිය අතර පෙම් කතා ගැන කියැවෙන විටදීත් මේ ගීතය බොහෝ අයට නිතැතින්ම මතකයට නැගුණා.
    ‘මගේ පුංචි රෝස මලේ – මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා‘
    ලෙසින් මේ ගීතය ආරම්භයේ සිටම කියාගෙන යන්නේ අඩු වයසේ තරුණියකට පෙම් බඳින වැඩිහිටි පෙම්වතෙකුට ඇය හා සමීප වන්නට තිබෙන බාධක ගැනයි.
    මෙම ගීතය රචනා කළ ප්‍රවීණ ගීත රචක ධම්මික බණ්ඩාර මෙම ගීතයේ පසුබිම් කතාව වරෙක හෙළි කර තිබේ.
    එක්තරා වැඩිහිටි සංගීතඥයෙක් අත්දුටු සත්‍ය අත්දැකීමක් මෙයට පසුබිමිවී තිබේ. ඔහු සංගීත පන්තිද පවත්වන්නෙකි.කළුතර ප්‍රදේශයේ පවත්වා යන ඔහුගේ සංගීත පන්තියට දිනක් ළාබාල රූමත් ගැහැණු ළමයෙක් වයලින් වාදනය ඉගෙනගන්න පැමිණ තිබේ.
    ඇය දුටු මොහොතේ සිට මේ සංගීතඥයාට ඇය ගැන ආදරයක් හටගෙන තිබේ.නමුත් එය නොහැඟවූ ආදරයකි. වයස් පරතරය නිසා එම ආදරය කියාපෑම මගින් අනවශ්‍ය ගැටලු ඇතිකරාවි යන බිය ඔහුට තිබී ඇත.
    ඇය පන්ති ආවේ නැති දවසට පන්තිය පවත්වන්නවත් බැරි තරමට ඔහු සිත් තැවුලට පත්වුණ නමුත් මේ කාරණාව දිගටම රහසක් ලෙස ඔහු තබාගෙන සිටියා. ඇය හා සුහදව ඉගැන්වීම් වැඩ කරද්දීත් වචනෙකින්වත් නොගැළපෙන දෙයක් නොකියන්න ඔහු වග බලාගත්තා. ඒ නිසා ගුරුවරයගේ හිතේ තමන් ගැන තියෙන අසීමිත ආදරය ගැන ඇය හාංවිසියක්වත් දැනගෙන සිට නැත.
    කාලය මෙසේ යද්දී වයලීන් වාදන පාඩම් ඇය හමාර කරමින් සිටියා. ඒ අතරවාරයේ එක් දිනක් ඇයට වැදගත් දෙයක් කියන්නට අවශ්‍ය බවත් එය පවසන්නට ඔහු හමුවන්නට අවශ්‍ය බව කල් ඇතිව දන්වා දුරකතන ඇමතුමක් ආවා. ඇයගේ එම ඇමතුම වියපත් ගුරුවරයාගේ මනසට බලාපොරොත්තු ඇති කළා. එළැඹෙන පන්ති දිනයේ අවසන තමා හමුවිය හැකි බව ඔහු දන්වා සිටියා.
    එදා ඇය පැමිණ තිබුනේ ලියුම් කවරයකුත් අත රඳවා තබාගෙනයි. ‘සර් මං සර්ව හමුවෙන්න හිටියේ මට ඉස්සරහට පන්ති එන්නැති බවත් දන්වන්න ඕනෑ නිසයි..‘ ඇය කී දෙය ඔහුට තේරුම් ගියේ නැත. එක්වරම ඒ ඇයි? දැයි ඔහු අසා සිටියේය.
    එම අවස්ථාවේ ඇය දන්වා සිටියේ තමා තවත් සතියකින් විවාහ දිවියට පිවිසෙන කතාවකි. ඇය රැගෙන ඇවිත් තිබුනේ එහි ඇරයුම් පතයි.
    පියෙකු මෙන් තමාට සැලකූ ආකාරය ගැන ගුණද පවසා ඔහුගේ දෙපා වැඳ එම ඇරයුම පිළිගන්වා සිටි ඇය කී දේවල් අසා කම්පනයට පත්වූ නමුත් කිසිවක් නොහැඟවූ ගුරුවරයා එම ඇරයුම් පත ලබාගෙන ඇයව පිටත් කර හැරියා.
    නමුත් කාලයක් තිස්සේ වැඩුණ බලාපොරොත්තු එක්වරම බිඳීයාම ඔහුට දරාගන්නට බැරිවුණා. ඔහු එදා රාත්‍රිය ගත කළේ හන්දියේ තැබෑරුමට යාබද අවන්හලේය. ඔහු අධික ලෙස මත්වී දුක සඟවාලන්නට උත්සාහයක යෙදුණා.
    ප්‍රවීණ ගීත රචක ධම්මික බණ්ඩාරයන් මේ ගායකයාගේ සමීප මිතුරෙක්.තම මිතුරා ළාබාල තරුණියකට හිතින් ආදරය කරන කතාව ධම්මික දැනගෙන හිටියා. නමුත් මේ වෙච්චි වින්නැහිය ගැන ඔහු දැන සිටියේ නෑ. සංගීතඥයා හමුවන්න ඔහු එදා නිවසට ගොස් එහි නැතියෙන් අවන්හල වෙත ගිය අවස්ථාවේ බීමත්ව දුක කියමින් සිටි මිතුරාගෙන් සිදුවූ සියල්ල අසා දැනගත්තා. ඇය දුන් ඇරයුම් පතද ඔහු දුටුවා.මෙම සිදුවීමෙන් ඔහුද කම්පනයට පත්වුණා.
    ඒ විරහව පද පෙළට අමුණා ගීතයක් බවට පත් කරන්නට ධම්මික උත්සාහ කලා. අමරසිරි පීරිස් මහත්මයාගේ ගැඹුරු හඬ එම ගීතයට සුන්දරත්වය මුසු කරනවා.
    එහි පද පෙළ පහත පරිදිය.
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා

    කළුවර රෑ සඳක් වගේ
    අහසේ නුඹ ඉන්නවා නම්
    ආසයි මම නොකී කවිය ඔබට කියන්න
    තරහක් නෑ නුඹ බැසයන්න

    මගේ පුංචි රෝස මලේ…..

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනවා නම්
    ආසයි මං කවුළු පියන් හැරල තියන්න
    තරහක් නැහැ නෑවිත් ඉන්න

    මගේ පුංචි රෝස මලේ…..

    පහත පළවන්නේ පෙරකී සත්‍ය කතාව නොව වෙනත් කතාවක් නිර්මාණාත්මක ලෙස සකසා එම ගීතයට කළ රූප රචනාවකි.


  • , ,

    Hot Popular සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

    ජපනුන් කෝච්චිවල නිදාගන්නේ ඇයි?

    ලෝකයේ දියුණුම රාජ්‍යයක් හැටියට ගැණෙන ජපානයට එන බොහෝ සංචාරකයින් ජපනුන් ගැන එරටදී දකින්නට ලැබෙන අමුතුම ලක්ෂණයක් හැටියට දුම්රියේදී නිදාගැනීමේ පුරුද්ද සටහන් තබා යති.
    ඔබ ජපානයට අමුත්තෙකු නම් එහි පොදු ප්‍රවාහන සේවාවක යන්නට සිදුවූයේ නම් මේ කාරණාව කෙතරම් පොදු දෙයක්ද යන්න අවබෝධ වනු ඇත. ජපානයේ විශේෂයෙන්ම දුම්රිය මගීන් ගමන් කරන අවස්ථාවල නිදාගැනීම ඉතා සාමාන්‍ය ලක්ෂණයකි. ඇතැම් විට ගොරව ගොරවා නිදාගන්න‍ේ යාබද ආසනයේ ගමන් කරන නාඳුනන තැනැත්තා හෝ තැනැත්තියගේ සිරුරද ස්පර්ශ කරගෙන විය හැකිය. නමුත් මේ පුරුද්දට ඉඩ හසර දෙනු වෙනුවට බාධා කරන්නට කිසිවෙකු ඉදිරිපත් නොවේ.
    වෙනත් රටක නම් දුම්රියේ නිදාගන්නා මගියාගේ ගමන් මළු හෝ වටිනා දේ නින්ද අවසානයේ අවදිවී බලන විට සොරකමට ලක්වීම නොවැළැක්විය හැකි අන්තරාවකි. නමුත් ජපන් සංස්කෘතිය තුළ එබඳු දෑ සිදුවීම ඉතා විරල බව පැවසේ.
    වඩාත් විස්මිත කාරණාවක් නම් රාජකාරී අවසන්වී යන කිසිවෙකු හෝ දුම්රියේදී නින්ද ආරම්භ කර පදිංචි ස්ථානය අසළ නැවතුමෙන් බැසයන්නට අවශ්‍ය අවස්ථාවේ නින්ද ඉබේම අහවර වී තිබීමයි. නින්ද නිසා බහින තැන අමතකවීම්ද විරල සිදුවීම් බව පැවසේ.
    වේලාව නොවරදවා ටක්කෙටම ගමන් කරන ජපන් දුම්රිය සේවාව තුළ නින්ද පවා සැලසුම්කිරීමට ජපනුන්ට හැකියාව ලැබී තිබේ.
    ජපානයේ ටෝකියෝ නුවර යනු ඉතා පිරිසිඳු ආරක්ෂිත කාර්යක්ෂම නගරයකි. මෙහි සේවා ස්ථානවල සේවය කරන බොහෝ දෙනා නගරයට එපිට ජීවත්වන අය වන අතර දුම්රියෙන් ගමන් කිරීම කවදත් සිදුවේ. නිවසේ වාහනයක් ඇති නැති භේදයද මෙයට බලපාන්නේ නැත. කාටත් රැකියාවට යන පහසුම ක්‍රමය දුම්රියයි.
    විදෙස් ජාතිකයෙකු ජපාන දුම්රියක සවස් කාලයේ යන විටෙක මේ රාජකාරී නිමවී යන මහජන කැල දක්නට ලැබෙනු ඇත. ඔවුන් නිදාගන්නා ආකාරය දෙස බලන සංචාරකයින් එක්වරම කල්පණා කරන්නේ මෙතරම් කම්මැලිකමක් ජපනුන්ට තිබේ නම් ඔවුන් දියුණු ජාතියක් වූයේ කෙසේද යන ගැටලුව ගැනයි.
    නමුත් මේ සම්බන්ධයෙන් පිටත සිට නරඹනවාට වඩා වැඩි අරුතක් ජපන් සංස්කෘතිය තුළින් ගම්‍යමාන කර ඇත. ජපනුන් විලාසිතාවට කාර්යක්ෂමතාව පෙන්වන ජාතියක් නොවේ. ඔවුන් ඕනෑම දෙයක් වෙනුවෙන් කැපවීම සිය ආත්මය කොට ගනී. ජපන් නිෂ්පාදනයක් යයි කී සැණින් ඕනෑම දෙයක් වටිනා ඉහළ ගුණාත්මක මට්ටමේ දෙයක් යන හැඟීමද ලොවට හෙළි කර ඇත්තේ මේ කියන කැපවීම හා අවංකත්වයයි. ඔවුන් හෘද සාක්ෂියට බොරු නොකරන ජාතියකි. සැබෑ කැපවීම ඔවුන්ට අධික වෙහෙසක් ගෙනදේ.එසේම ඔවුන් හුරුව තිබෙන කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර රටාවද ඔවුන්ට එම කැපවීමටට අනුබලයක් ලබාදෙනවා සේම නින්දටද හේතුවක් ඇති කර තිබේ.
    ඇතැම් ජපාන සමාගම් සේවකයින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නට සිය රාජකාරී අතර දිවා විවේකයේ ආහාර ගැනීමෙන් පසු කෙටි නින්දක් සඳහා අවශ්‍ය පහසුකම් හා වේලාව සැපයීමද දක්නට ලැබේ. ජපන් සංස්කෘතිය තුළ මෙම දවල් නින්ද කම්මැලිකමට හිමි අර්ථය ලබාදී නැත.
    රාජකාරී අවසන්වී දුම්රියට සේන්දුවන අධික වෙහෙස සහිත කාර්යාල සේවකයින්ට නින්ද යන්නට අවශ්‍ය තරම් සුවයක් එම දුම්රිය තුළද සපයා ඇත. ඒවා ඉතා ඉහළ මට්ටමින් නඩත්තු වන සද්ද බද්ද අඩු දුම්රිය වන අතර වටපිට කවුරුත් නිදාගන්නා පසුබිමක තමනුත් කෙටි නින්දක් ලැබුවාට ඇති වරද කුමක්ද වැනි හැඟිමක් ලබාදී තිබේ.
    ජපනුන් කෝච්චියේ ලබන නින්දෙන් පසු නැවත නිවසට ගොස් සන්ධ්‍යා කාල නින්දක් නොලබන අතර නැවත නිදියාගන්නේ රාත්‍රියටය. සන්ධ්‍යාවෙහි සිය පවුලේ උදවිය සමග යෙහෙන් ගතකිරීමටද ඔවුනගේ මෙම දුම්රිය නින්දෙහි පුරුද්ද රුකුලක්වී ඇත.


  • , ,

    Hot Popular සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

    ජපනුන්ට දියුණු වන්නට මග කී නාස්තිය අවමකරන ගුණාංගය

    ජපානයට පැමිණි අලුත දවසක මම තවත් ජපන් ජාතික මිතුරකු සමඟ දිවා ආහාරය සඳහා අවන්හලකට ගොඩවැදුණෙමි. ආහාර කොතරම් රසවත් වුවත් එවකට හෂිවලින් (Chopsticks) කෑමට ඇති නුපුහුණුව නිසාම ඇණවුම් කළ ආහාරවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කොට ඒමට සැරසෙනු දුටු මගේ මිතුරාගේ මුහුණ ප්‍රසන්න නොවූ අතර, ඔහුගේ මුවින් පිට වූයේ ජපන් බසින් ‘මොත්තයිනයි’ (මොන නාස්තියක්ද මේ!) යන්නයි. ඇණවුම් කළ සියල්ල ආහාරයට ගන්නා ලෙස කාරුණිකව පැවසූ හෙතෙම කෑම ඉවත දැමීම අපරාධයක් බවත්, ජපානයේදී කෑම ඉතිරි කිරීම, එය සකස් කළ අයට කරන අගෞරවයක් ලෙස සලකනු ලබන බවත් පැවසූයෙන් බොහෝ කාලයක් වැය කොට අසීරුවෙන් වුවත් කෑම බඳුන් හිස් කිරීමට මට සිදු විය.

    ජපන් භාෂාවේ ‘මොත්තයිනයි’ යන්න, ජපන් ජාතිකයින් විසින් මොනයම්ම හෝ සම්පත් නාස්තියක් දුටු විටදී ඒ පිළිබඳව තමන්ගේ අකමැත්ත සහ කණගාටුව පළකිරිමට යොදාගන්නා වචනයක් වන අතර එහි සරල තේරුම “මොන නාස්තියක්ද / නස්ති කරන්න එපා” වැන්නකි. එහෙත් ඉන් එහා ගිය, ජපන් සංස්කෘතිය තුළ කිඳා බැසඇති ගැඹුරු අරුතක් එයට ඇත. ජපානයේ මහායාන බුදුදහමේ සදහන් තම අවට ඇති සම්පත්වලට ගෞරවපූර්වකව සැලකිය යුතුය යන අදහස මත ගොඩනැගී ඇති මෙම සංකල්පය සම්පත් අරපිරිමැස්මෙන් ස්තුතිපුර්වකව පාවිච්චි කළ යුතුය යන තේරුමෙන් ජපන් සංස්කෘතියේ දර්ශනයක් (Philosophy of Moththainai) බවට පත් වී ඇති ආකාරය විමසා බැලීම වටී.

    ජපානය යනු ශ්‍රී ලංකාව මෙන් ස්වාභාවික සම්පත් වලින් අනුන දිවයිනක් නොවන අතර එහි ඇති වටිනාම සම්පත ලෙස සලකන්නේ මානව සම්පතයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ගරාවැටුණු රාජ්‍යයක්‌ වූ ජපානය, නුතන ලෝකයේ සංවර්ධිතම රටක් බවට ගොඩනැංවීමේ කාර්යභාරය ඉටු කළේ වෙනයම් බලවේගයක් නොව ධෛර්යමත් ජපන් ජාතියයි. තම දේශය ගොඩනැංවීම තම ප්‍රධාන අරමුණ කරගත් ජපන්නු එදා “නාස්තිය” ශුන්‍ය කරගනිමින් හැකි සැමවිටම සම්පත් ප්‍රතිචක්‍රීකරණය (Recycle) කිරීමට වගබලාගත්හ. එකල ‘මොත්තයිනයි’ යන වචනය ගෙයක් ගෙයක් පාසා බහුලව භාවිතා කරන ලද්දේ වී ඇටයක දෙයක්, කඩදාසි හෝ රෙදි කැබැල්ලක් ඉවත දැමීම නොකළ යුතු බව දරුවන්ට ඒත්තු ගැන්වීම සදහාය. මෙය තරුණ වැඩිහිටි භේදයකින් තොරව, සියල්ලන්ටම ලෝකයේ සම්පත් සීමිත බවත් නිතරම සම්පත් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හා නැවත භාවිතයට (Recycle and Reuse) අදාළ නව ක්‍රමවේදයන් පිළිබඳ සෙවිල්ලෙන් සිටිය යුතු බවට මතක් කරන හා උනන්දු කරන අදහසක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට පැවතී ජපන් සංස්කෘතියේ නොසෙල්වෙන අංගයක් බවට පත්වී ඇත. අදටත් ජපානයේ නිවෙස්වල හා පාසල්වලදී දරුවන්ට මෙම දර්ශනය ප්‍රයෝගිකව උගන්වනු ලබයි.

    ජපන් ජාතිකයන් කිසියම් ආහාරයක් ගැනීමට පෙර, සෑමවිටම ‘ඉතදකිමස්’ යනුවෙන් පවසන අතර එහි තේරුම, මෙම ආහාරය මේ ආකාරයෙන් පිළියෙළ කිරීමට දායක වූ (ගොවිමහතාගේ සිට) සියලු දෙනාට තමන් ස්තුතිවන්තවන බවයි. එසේම ජපනුන් තම ආහාර බඳුනේ කිසිවක් ඉතිරි නොකිරීමට සැම විටම උත්සාහ දරයි. ඇනවුම් කරන ආහාර අපතේ යෑම වැළැක්වීමේ එක් පියවරක් ලෙස, ඕනෑම කෑම වර්ගයක් ප්‍රමාණ කිහිපයකින් (Extra Small, Small, Medium & Large) ආදි වශයෙන්) ලබාගැනීමට හැකිවීම, ජපානයේ අවන්හල්වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි.

    වරක් මම සහභාගී වූ වැඩසටහනක දී අපට දිවා ආහාරය සපයනු ලැබු අතර එයට තම දරුවන් දෙදෙනාද සමග පැමිණ සිටී මවක් කෑමට මා හා එක්ව අසුන් ගෙන සිටියාය. එහිදී ඇගේ බාල දරුවා කෑම ඉතිරි කළ අතර ඒ වනවිට ආහාර ගෙන අහවර වී සිටී මව නැගණිය ඉතිරි කළ කෑම ටික කන ලෙස වැඩිමල් දරුවාගෙන් කාරුණිකව ඉල්ලා සිටියාය. එයට එකඟ වූ දරුවා ඉන් අඩක් අපහසුවෙන් වුවත් ආහාරයට ගත්තාය. එයිනුත් ඉතිරි වූ ආහාර මව විසින් ආහාරයට ගත්තේ කෑම අහක දැමීම හොඳ දරුවන් විසින් නොකළ යුත්තක් බව දරුවන්ට පහදා දෙන අතරය. ඒ ජපන් ජාතික මව ආදර්ශයෙන් දුන් පණිවිඩය වැටහුණු මට ඇතිවුයේ ලැජ්ජාවකි. අපේ රටේ දී නම් අනිවාර්යෙන්ම සිදුවනු ඇත්තේ ඉතිරි කෑම ටික දෙවරක් නොසිතා කසළ බඳුනට හැලීම නොවේද.

    ආහාර පමණක් නොව කඩදාසි, ඇඳුම්, රෙදි, වතුර ආදී සියල්ලක්ම නාස්තිය අවම වන ලෙස භාවිතයට ජපන්නු හපන්නු වෙති. භාවිතා කරන ලද භාණ්ඩ විකුණන අලෙවිසැල් (Recycle Shops) ජපානයේ ඉතාම සාර්ථක හා ජනප්‍රිය වාණිජ ව්‍යාපාරයක් වන අතර රටේ සෑම තැනකම පාහේ මෙවැනි අලෙවිසැල් දැකිය හැකිය. ඕනැම කෙනෙකුට තමන් භාවිතයට නොගන්නා භාණ්ඩ මේ වෙළෙදසල්වලට විකිණිය හැකි අතර එම භාණ්ඩ ඉතා ආකර්ෂණිය ලෙස ප්‍රදර්ශනයට තබනු ලබයි. ප්‍රකට වෙළදනාම (Brands) යට‍තේ අධික මිල ගණන් වල සිට සාමාන්‍ය මිල ගණන් දක්වා භාණ්ඩ මෙම අලෙවි සල් වල විකිණීමට තබා ඇත. ඇදුම්, සපත්තු, ආභරණ, පොත්පත්, පිඟන් භාණ්ඩ, සියලුම වර්ගයේ විදුලි උපකරණ, ගෘහභාණ්ඩ, සෙල්ලම්බඩුවල සිට යානවාහන දක්වා ඕනෑම දෙයක් මේ අලෙවි සල්වල විකිණීමට තිබේ. මෙහි ඇති විශේෂ ලක්ෂණය නම් මෙම භාණ්ඩවල තත්වය හා පිරිසිදුකම ඉතාම උසස් තත්වයෙන් පැවතීමයි. එසේම මෙම අලෙවිසල් දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියල්ලන්ම අතර එක සේ ජනප්‍රිය බවද කිව මනාය.

    ජපන් ජාතිකයන් විශේෂ අවස්ථාවලට අඳින ‘කිමෝනෝ’ ඉතා වර්ණවත් වටිනා රෙදි වලින් නිපදවනු ලබන අතර තමන් විසින් භාවිතයෙන් ඉවත් කරන කිමෝනාවන් පෙර සදහන් කළ පරිදි භාවිතා කරනලද භාණ්ඩ විකුණන අලෙවිසැල්වලට විකිනීමට අමතරව එවායින් අලංකාර රෙදි සෙරප්පු (නුනෝ සෝරි), කාන්තා අත්බෑග්, පසුම්බි, හෂි රදවන, ටේබල් මැට්ස් සහ අත්පන්කා ආදිය නිපදවනු ලබයි. එම භාණ්ඩවලට ඉතාම ඉහළ ඉල්ලුමක් ඇති අතර ඉහළ මිලගණන්වලට විකුණනු ලබයි. මෙය සම්පත් උපරිමයෙන් භාවිතයට ගැනීමට අමතරව කාන්තාවන් බොහෝමයකට අදායම් මාර්ග උත්පාදනය කිරීමක් ද වීම අගය කළ යුත්තකි.

    ජලය උපරිම ලෙස පාවිච්චිය සදහා ජපනුන් යොදාගන්නා අපුරු ක්‍රමවේදයක් වන්නේ වැසිකිළිවල වැසිකිළි බේසම පිටුපස ඇති ජල රැඳවුමේ ඉහළ ජල කරාමයක් සහිත බේසමක් සවිකොට (Sink) එහි පාවිච්චියට ගන්නා ජලය වැසිකිළි බේසම සේදීමට (Flush) භාවිතා කිරීමයි. ඊට අමතරව ෆ්ලශ් කිරීම සදහා කුඩා ජල ප්‍රමාණයක් වෙනුවෙන් එක් හැන්ඩලයකුත් වැඩි ජල ප්‍රමාණයක් සදහා තවත් හැන්ඩලයකුත් යොදා තිබීමද ජපානයේ බහුලව දැකිය හැකිය. ඒ අනුව අවශ්‍යතාව මත, අපතේ නොයන පරිදි ජලය භාවිතා කිරීමට ජපන් ජනයා පුරුදුව සිටී.

    ජපානයේ කාර්යාලවල ඉවතලන කඩදාසි සෙසු අපද්‍රව්‍ය සමග එක්ව ඉවතලෑම වෙනුවට කඩදාසි කුඩා කැබලිවලට කඩන කුඩා උපාංගයක් භාවිතයෙන් කඩදාසි කැබලි කොට වෙනම ඉවතලන අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට එමගින් පහසු වේ. එපමණක් නොව ජපානයේ කසළ කළමනාකරණය ඉතා ක්‍රමවත් අයුරින් සිදු වන අතර කසළ වර්ගීකරණය කොට ඉවතලෑම සිදුවේ. මෙහි වඩාත් වැදගත්ම කරුණ නම් සියලුම ජපන් ජාතිකයින් මෙම කසළ වර්ගීකරණය වගකීමෙන් යුතුව අකුරටම ඉටු කිරීමට වගබලා ගැනීමයි.

    මේ අනුව සිතන විට ජපන් ජාතිකයින් තම සියලු පරිභෝජනයන් ඉතාම සැලකිලිමත්ව අරපරිස්සමෙන් මෙන්ම සම්පත් උපරිම ලෙස ප්‍රයෝජයනට ගනිමින් සිදු කරන ආකාරය ඉතාම පැසසුම් සහගතය. ඔවුන් මේ සියල්ල සිදුකරනුයේ නීති රීතිවලට ඇති බිය නිසාවත්, තවත් කෙනෙකු කියන නිසාවත් නොව තමා අවට ඇති සම්පත් වල සීමිත බව දැන තම හදවතින්ම ඒවා රැකගැනීමට ඇති උවමනාව නිසාම බව කිව යුතුමය. ස්වභාවික සම්පත් ඕනෑවටත් වඩා ඇති නිසාමදෝ, සම්පත් ඉවක් බවක් නැතිව භාවිතා කරමින් සිටින ශ්‍රී ලාංකික අපට ජපන් ජනතාවගේ ‘මොත්තයිනයි’ දර්ශනයෙන් ගතහැකි පාඩම් බොහෝමයකි. ලංකාවේ අරණායක, මීතොටමුල්ල වැනි ඛේදවාචකයන් තවදුරටත් සිදුවීම වැළැක්වීම සදහා අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් බව ජපන් ජාතිකයන් අපට පෙන්වා දෙයි. නාස්තිය අවම කොටගනිමින් සම්පත් භාවිතය පිළිබඳ ආකල්පයන් කුඩා කල සිටම දරුවන් තුළ වර්ධනය වීමට සැලැස්වීමෙන් අනාගතයේ තම අවට ඇති සම්පත් පිළිබඳ වගකීමෙන් කටයුතු කරන සමාජයක් බිහිකිරීමට හැකිවනු නොඅනුමානය.

    ජපානයේ සාගා විශ්වවිද්‍යාලයේ විද්‍යා හා උසස් තාක්ෂණික පශ්චාත් උපාධි ආයතනයේ
    සංජි උදාරි සමරනායක


  • , ,

    Hot සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

    ඉස්ලාම් ලබ්ධිකයින් හොල්මන් අවතාර විශ්වාස නොකරන්නේ ඇයි?

    ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව පුරා ආගමික ව්‍යාප්තවාදය, අන්තවාදය සහ මූලධර්ම වාදය ඉස්ලාම් දහම සමඟ සෘජුව බැඳී ඇතැයි ලොව බොහෝ දෙනෙක් සිතති. එහි එක්තරා ප්‍රායෝගික සත්‍යයක් තිබේ. එහෙත් එහි ඉස්ලාමීය ආගම හා සම්බන්ධ කිසිදු දාර්ශනික වැදගත් කමක් නැත.

    ඉස්ලාම් දහමෙහි එන ඇතැම් ඉගැන්වීම් වලට ලබා දී ඇති පසුකාලීන අර්ථ නිරූපන මුල්කොට එසේ ඉස්ලාම් ව්‍යාප්තවාදය, මූලධර්මවාදය ලොව පුරා පැතිර යන බව මැදහත් නිරීක්ෂකයන්ගේ මෙන්ම මධ්‍යස්ථ ඉස්ලාම් භක්තිකයන්ගේ ද පොදු පිළිගැනීමය.

    එහෙත් ලොව බොහෝ ආගම් අතර ඇතැම් කරුණු යථාර්තවාදී ලෙසින් ප්‍රකාශ වීම අතින් ඉස්ලාම් දහමට විශේෂ තැනක් හිමිවන බව අප අවිවාදයෙන් පිළිගත යුතුය.

    යක්ෂයන්, ප්‍රේතයන්, ‍භූතයන්, පිසාචයන්, කුම්භාණ්ඩයන්, කුම්බරයන් ආදී වශයෙන් හඳුන්වන අමනුෂ්‍ය කොටස් පිළිබඳ විශ්වාසය මූලික ඉස්ලාම් දහමින් ඉඳුරාම ප්‍රතික්ෂේප වන බව බොහෝ දෙනෙක් නොදනිති.

    ඒ අනුව ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් විශ්වාස කරන හොල්මන් අවතාර පිළිබඳව විශ්වාස කිරීමට ඉස්ලාම් භක්තිකයන්ට කිසිදු ආගමික අවසරයක් නැත.

    මරණයට පත් වන විටත් නින්දට යන විටත් එම ප්‍රාණයන් අල්ලාහ් විසින් අත්කරගනු ලබන බව කුරානයේ (39:42) පැහැදිළිවම සඳහන් වෙයි. ඒ අනුව අල්ලාහ් ගේ එම පරම අයිතිය පිළිගන්නා සෑම ඉස්ලාම් ආගමිකයෙකුම නින්දට යාමට පෙර මෙසේ දෙවියන් යැදිය යුතුය.

    “මාගේ ස්වාමීනි ඔබගේ පරිශුද්ධ වූ නාමයෙන් මම නැවත පිබිදෙමි. එහෙත් නින්දේ දී ඔබ මගේ ප්‍රාණය අත්පත් කර ගන්නේ නම් එයට කරුණාව දක්වනු මැනවි. ඔබ එය ආපසු භාර දෙන්නේ නම් ඔබගේ යහපත් වහලුන් මෙන් මගේ ප්‍රාණය ද ආරක්ෂා කර දෙනු මැනවි.”

    ඉහත සඳහන් යැදුම අනුව සෑම මුස්ලිම්වරයකුම මරණයෙන් පසු නියත වශයෙන්ම දෙවියන්ගේ භාරයට පත්වේ. ඒ අනුව ජීවිතය සහ මරණය වෙන් කරන දිව්‍යමය තිරයක් ඔවුන් ඉදිරියේ නිර්මාණය වේ. ඉස්ලාම් දහමෙහි එම තිරය හැඳින්වෙන්නේ “බර්සක්” යනුවෙනි. කුරානයෙහි (55:19-20) ජීවත්වන්නවුන් සහ මළවුන් අතර ඇති මෙම දිව්‍යමය තිරය පිළිබඳව සඳහන් වෙයි.

    මරණයත් සමඟම දෙවියන් විසින් මෙම තිරයෙන් වෙන් කරනු ලබන කිසිවෙකුටත් කවර ආකාරයකින් හෝ යළි කිසිදු අයුරකින් ජීවත්වන්නවුන්ගේ ලෝකයට පැමිණිය නොහැක.

    ඒ පිළිබඳව ඉස්ලාමීය ආගමික ග්‍රන්ථවල සඳහන් වන රසවත් පුවතක් මෙලෙසිනි.

    “මරණයෙන් පසු භූමදාන වන තැනැත්තා වෙත කළු සහ නිල් පැහැති දෙනෙත් වලින් යුත් දේව දූතයෝ දෙදෙනෙක් පැමිණෙති. ඉන් එක් අයෙක් ‘මුන්කර්’ නමින්ද අනෙකා ‘නකීර්’ නමින්ද හැඳින්වෙති. මේ දෙදෙනා මියගිය තැනැත්තාගෙන් දේව විශ්වාසය (ඊමාන්) පිළිබඳව විමසීමක් කරති. එහිදී දේව විශ්වාසය සේම ඒ තැනැත්තා ගත කළ සදාචාරාත්මක ජීවිතය පිළිබඳවද විමසීමක් කරනු ලැබේ. එහිදී මියගිය තැනැත්තාගෙන් සාර්ථක ලෙස පිළිතුරු ලද හොත් ඔහුගේ සොහොන (පරලොව ජීවිතය) එම දේවදූතයෝ ආලෝකමත් කරති. ඉන් සතුටට පත්වන මියගිය තැනැත්තා මෙම තොරතුරු මගේ පවුලේ අයට කියා නැවත එන්නදැයි එම දේවදූතයන්ගෙන් ප්‍රශ්න කරයි. ඉන්පසු ඔවුන් මියගිය තැනැත්තාට දැනුම් දෙනුයේ මිය ගිය කිසිවෙකුත් අවසාන විනිශ්චය හෙවත් ‘කියාමත් දිනය’ වන තුරු නැඟිටීමට අල්ලාගෙන් කිසිදු අවසරයක් නොමැති බවය. එබැවින් ‘කියාමත් දිනයේ’ අල්ලා පැමිණ නැඟිටුවන තෙක් අලුත් මනමාලයෙක් මෙන් එම සොහොනේ නිදා ගන්නැයි මිය ගිය තැනැත්තාට දන්වන ඔවුහු ආපසු යති.

    නමුදු මිය ගිය තැනැත්තා දුෂ්ඨ ජීවිතයක් ගත කළ තැනැත්තෙකු (මුනාෆික්) නම් මෙම සුරදූතයන්ගේ ප්‍රශ්න වලට සාර්ථක ලෙස පිළිතුරු දීමට ඔහුට නොහැකි වෙයි. එවිට එම සුර දූතයන් ඔබ ජීවත් වන කාලයේදීත් දෙවියන් විශ්වාස නොකළ අයෙකු බව අපි දනිමු යැයි කියා ඔහුගේ ඇට කටු කුඩු වන තුරු සොහොන (පර‍ළොව ජීවිතය) තුළ ඔහු තදකොට තබන බව ඉස්ලාමීය දහමෙහි සඳහන් වෙයි.

    ලොව සෙසු බොහෝ ආගම් වල දේවත්වයට පත් වන මිනිසුන් පිළිබඳව සඳහන් වෙයි. ‘සාන්තු වරුන්’ යන්නද මෙසේ දේවාරෝපණයට පත් මිනිස්සුය. ඉස්ලාම් දහමෙයි මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසුන් හඳුන්වනුයේ නබි වරු යනුවෙනි. ඔවුනට පමණක් දෙවන වන ‘ෂහීඩ්’ නමැති ශ්‍රේෂ්ඨ මිනිස්සුද වෙති. මෙම නබි වරුන් අතර ප්‍රමුඛයා ‘මොහොමඩ් නබි’ (සල්) තුමන්ය.

    දෙවියන් වෙනුවෙන් කැප වූ එතුමන් වුව මරණයෙන් ‘උත්ථානය’ වූ බව පිළිගැනීම ඉස්ලාම් දහමට ඉඳුරාම පටහැනිය. ඔවුන් පවසනුයේ මොහොමඩ් නබි තුමන්ටවත් මරණයෙන් පිබිදීමට නොහැකි වී නම් සෙසු නබිවරුන්, ෂහීඩ් වරුන් ඇතුළු සාමාන්‍ය මිනිසුන් දෙවියන් යක්ෂයන්, භූතයන් නැතහොත් හොල්මන් අවතාර ලෙස යළි මිනිසුන් හමුවේ පෙනී සිටින්නේ ‘කෙසේද’ යන්නය.

    ඒ අනුව ආගමික විශ්වාසයක් ලෙසින් හෝ මියගිය පුද්ගලයකු මුල්කොට හොල්මන් අවතාර පැන නැගිය හැකිය යන ලොවපුරා පවතින පොදු විශ්වාසයට පටහැනි යථාර්තවාදී දහමක් සේ ඉස්ලාමය හඳුනාගැනීමේ කිසිදු වරදක් නැත.

    තිලක් සේනාසිංහ


  • , ,

    සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

    ලෝකයේම ආහාර වෙළෙඳාම පාලනය කරන්නේ ආයතන 10 ක් බව දැන සිටියාද?

    අද ලෝකයේ විවිධ ආකාරයේ වෙළෙඳ නාම යටතේ ආහාර පාන වෙළෙඳ පොලේ තිබුණත් ඒවා බොහොමයක් ගොනු වශයෙන් එක් එක් සමාගම් කිහිපයක් යටතේ නිෂ්පාදනය වෙනවා.
    ඒවා අවසාන වශයෙන් සැලකීමේදී සමාගම් 10 ක් තරම් සුළු ප්‍රමාණයකට අධික ලාබ උපයා දෙන්නට සමත් වන බව ඔබ දැන සිටියාද?

    එම සමාගම් 10 වන්නේ නෙස්ලේ,පෙප්සිකෝ,යුනිලීවර්,කෙලොග්ස්,මොන්ඩෙලස්,ඇසෝසියේටඩ් බ්‍රිටිස් ෆුඩ්ස්,ඩැනොන්,මාර්ස්,ජෙනරල් මීල්ස් සහ කොකා කෝලාය.
    ඇතැම් විට අප පරිහණය කරන ආහාර වර්ග වල වෙළෙඳනාම අප දැනසිටියත් ඒවායේ මූලික අයිතිකරුවන් කවුරුද යන්න පවා සඟවා තිබෙනවා. එයට හේතුව විවිධත්වය තුළ මිලට ගන්නට අවස්ථා වැඩි කිරීමටයි. ඇතැම් සමාගම් එකම රටක තරගකාරී සමාන නිෂ්පාදන වල හිමිකරුවන් වන අතර පාරිභෝගිකයින් වෙන වෙනම ඒවා මිලට ගත්තත් එකම සමාගමකට අයත් ආහාර පාන බව දන්නේද නැත.
    පහත සටහනේ දැක්වෙන්නේ එම විවිධත්වය ප්‍රධාන සමාගම් 10ට ගොනු කළ ආකාරයයි.


  • ,

    සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

    පිළිකාව නිසා වයස 5 දී හොඳම මිතුරා කසාද බැන්ද ඊල්ඩ් මියයයි

    පසුගිය දිනවල ලෝකය පුරා කථාබහට ලක්වූ Eileidh Paterson නමැති 5 හැවිරිදි දැරිය ගැන කතාව තරමක් වෙනස් එකක්. පිළිකාවෙන් පීඩා වින්ද ඇය ඇගේ අවසන් ඉල්ලීම් සපුරාගෙන පසුගිය සතියේ මියගිය බව වාර්තා වුණා.
    පිළිකාවක් හේතුවෙන් සුව නොකළ හැකි රෝගී තත්වයකින් පසුවූ ඇයගේ අවසන් ඉල්ලීම වූයේ තමා මිය යන්නට පෙර තමාගේ හොඳම මිතුරා වූ පැල් සමග විවාහ විය යුතු බවයි.
    ඇගේ අවසන් ඉල්ලීම ඉටු කරමින් එම විවාහ උත්සවයද දෙපාර්ශ්වයේ මාපියන් එක්වී පැවැත්වූ අතර පසුව ඇය සති කිහිපයකින් මියගියා. ඇගේ අවසන් ඉල්ලීම පරිදි මියගිය පසු ඇය කැමති සෙල්ලම් භාණ්ඩ හා ප්‍රකට ළමා චිත්‍රපට චරිත ඇගේ අවසන් කටයුතු වලදී විවිධ පැහැ ඇඳුමින් සහභාගීවීමද විශේෂත්වකි.
    හොඳම මිතුරා සමඟ විවාහ වීම කුඩාකල සිටම ඇයට තිබූ එක් හීනයක් වූ අතර එය මියයන්නට පෙර සැබෑ කර දෙන්නට කටයුතු කළ දෙමාපියන් දැන් ඒ ගැන සැනසෙනවා.
    විවාහය පිළිබඳව මනාලයා ලෙස එක්වූ සිඟිති මිතුරා පැල් ගේ පියා මාධ්‍යට අදහස් දක්වා මෙසේ කියා තිබුණි.
    ”පුතා කවදාවත් මේ වගේ විවාහයකට සහභාගී වෙලා තිබුනේ නෑ, මේ හැම දෙයක්ම එයාට අලුත්. ඒත් මේ ලස්සන උත්සවයේ හැම මොහොතකම ඔවුන් සතුටින් කාලය ගතකළා, ඔහුට ඊල්ඩ් මුණගැහුණට පස්සේ මිතුරන් වුණේ කවදාවත් වෙන් කරන්න බැරි විදියට. මං හිතන්නේ පුතා දන්නවා ඇත්තටම මෙතන මොකද වෙන්නේ කියලා. එයාටත් ඕනි මේ දේ වෙනුවෙන් ඔහුගේ උපරිමයෙන් ඇයට සතුටක් දෙන්න”
    පහත පළවන්නේ ඊල්ඩ්ගේ විවාහ උත්සවයේ හා අවමංගල උත්සවයේ ඡායාරූප කිහිපයකි.


  • ,

    සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

    සැබෑ දරුවන් හැරගිය පසු අරන් හදන දරුවන් නිසා සතුටුවන පොප් ගායිකා මැඩෝනා

    අසූව අනූව දශකවල ලෝකයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ පොප් ගායිකාව බවට පත්ව සිටි මැඩෝනා ගැන වර්තමාන පරපුර දන්නේ අඩුවෙනි. පොප් ලෝකයේ කිරුළ දැරූ මයිකල් ජැක්සන් හා සමානවම ඇය එකල ජනප්‍රිය විය.
    ගීත රචනා කලාව,ගායනය,නර්තනය මෙන්ම චිත්‍රපට නිෂ්පාදනයද සිදු කළ ඇය ඒ කාලයේ ලෝකයේ ආකර්ෂණීයම කලාකාරිය ලෙස පිළිගැනීමට ලක් විය. ඇය ඇගේ නිර්මාණ නිසා කෝටි ගණන් මුදල්ද ඉපයූවාය.මැඩෝනා දැන් 58 හැවිරිදි සය දරු මවකි. අසාර්ථක විවාහ තුනකින් පසු ඇය දැන් තනිකඩව කල්ගෙවන අතර ඇගේ දරුවන් 6 දෙනාගෙන් ඇය සමග තනිනොතනියට සිටින්නේ අරන් හදාගන්නට ගත් දරුවන් 4 දෙනෙකු පමණි.
    නළුවන් දෙදෙනෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු සමග මැඩෝනා කලින් කල වාසය කළාය.

    ඇගේ වැඩිමල් දියණිය උපත ලද්දේ සිනමා නළු කාලොස් ලියොන් සමග වාාසය කරන කාලයේය. දැන් 20 හැවිරිදි වියේ පසුවන ලෝඩස් මාරියා නමැති දියණිය මැඩෝනාගේ ඊළඟ සහකරුවාද පිය තනතුරේ තබා කාලයක් වාසය කරමින් සිටියත් පසුව මැඩෝනා හැරදමා නැවත ඇගේම පියා කාලොස් හා කුඩම්මා සමග දිවිගෙවයි.

    මැඩෝනාගේ පුත් රොකෝ උපත ලද්දේ ඇයගේ අවසන් විවාහය පැවති චිත්‍රපට නිෂ්පාදක ගයි රිචී සමග විවාහයෙදිය. මැඩෝනාට කළු සම ඇති අය දරුකමට හදාගැනීමේ උමතුවක් තිබුණ අතර 2006 හා 2009 වසරවල ඩේවිඩ් හා මර්සි නම් වලින් යුතු පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු ඇය අරන් හදාගන්නට යොමුවූවාය. ඒ අප්‍රිකානු මලවි රාජ්‍යයේ ඇය සමාජ සුබසාධන වැඩසටහන් වලට සහභාගීවන අතරවාරයේය. ගයි රිචී සමග මැඩෝනාගේ විවාහය දෙදරායාමෙන් පසුත් පුතු රොකෝ ඇය සමග සිටි නමුත් ප්‍රශ්න මතු විය.


    අප්‍රිකානු දරුවන් සමග එකට වාසය කරන්නට කාලයක් යද්දී මැඩොනාගේ පුතු රොකෝ අකමැති විය. ඔහු මවගේ ක්‍රියාකලාපයන්ද පහත් ලෙස හෙළා දුටුවේය. මින් වසර කිහිපයකට පෙර මැඩෝනාගේ සමාජ මාධ්‍ය වෙත පිළිකුල් සහගත වචන වලින් බැණ වදිමින් ඔහු කළ ප්‍රකාශයක්ද ආන්දෝලනයට ලක් විය. පසුව ඔහු ඇය හැර ගිය අතර දැන් වාසය කරන්නේ සිය පියා සහ කුඩම්මා සමග එංගලන්තයේය.

    මුලින් මලවි රාජ්‍යෙය් දරු දෙදෙනෙකු අරන් හදාගන්නට ගත් මැඩෝනා පසුව ඒරටේම තවත් නිවුන් දරු දෙදෙනෙකුද අරන් හදාගන්නට ගත්තාය. මලවි රාජයේ නීති රිති අනුව එම දෙදෙන ලබාගැනීමට යාමේදී මැඩෝනා නීති ප්‍රශ්න වලටද මැදිවුණ අතර පසුව ඒවා හීන් සීරුවේ විසඳාගෙන තිබේ.

    පසුගියදා මැඩෝනා මලවි රාජ්‍යයේ බ්ලැන්ටයර් හි The Mercy James Institute for Pediatric Surgery නමින් ළමා රෝහලක් විවෘත කරන ලද්දේ ඇගේ වියදමින් කරන පරිත්‍යාගයක් ලෙසයි. ඒ රටින් ඇය දරුකමට ගත් මර්සි දියණියගේ නම එම රෝහලට තබන්නටද ඇය අමතක නොකළාය.

    තම ලෙයින් උපන් දරුවන් හැරගොස් සිටියත් මැඩෝනා ඒ ගැන දුක් වන්නේ නැත. ඩේවිඩ් හා මර්සි නමැති දරුකමට ගත් දරුවන් සමග ඇය රෝහල් විවෘත කිරීම අවස්ථාවේ සිත් සතුටින් ගත කළ අවස්ථාවේ ගත් ඡායාරූපයක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ සංවේදී අවස්ථාවක් යයි නම් කරමිනි.

    Pix-Reuters/Siphiwe Sibeko


  • , ,

    සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

    සමාජ ජාලවල අවභාවිත වූ මුස්ලිම් කතගේ ෂෙල් දැන්වීම ඉවත්කරලා

    මේ කාලයේ සමාජ ජාලාවන්හි ප්‍රතිචාර මත ඇතැම් වෙළෙඳ තීන්දු තීරණ ගන්නට පවා ප්‍රධාන පෙළේ සමාගම් කටයුතු කරන නැඹුරුවක් දක්නට තිබෙනවා.
    මැලේසියාවේ ඉන්ධන පිරවුම් හල් බොහොමයක් සුප්‍රකට ෂෙල් සමාගම සතු වන අතර ෂෙල් සමාගමට අයත් මිනරල් වතුර නිෂ්පාදනද එරට ජනප්‍රියව ඇත.
    පසුගිය කාලයේ මැලේසියානු ෂෙල් ඉන්ධන පිරවුම් හල් අසළ බිත්තිවලින් එළියට එබෙන පරිදි එක්තරා දැන්වීමක් ප්‍රකට විය. එහි දැක්වුනේ මුස්ලිම් ජාතික ප්‍රියමනාප මැලේසියානු කාන්තාවක් වතුර බෝතලයක් අල්ලා ගෙන සිටින අයුරුය. Shell’s Gadis Air Mineral නමින් හැඳින්වුණ එම දැන්වීමේදී ඇය ෂෙල් වතුර මිලට ගන්නැයි ඉල්ලා සිටින අයුරු දැක් වුණි.
    මෙම කාඩ්බෝඩ් පුවරුව පාරිභෝගිකයින් අතර කෙතරම් ප්‍රචලිත වූයේද යත් එය පදනම් කරගෙන සමාජ ජාල වල විවිධ කතා පැතිරිණි.
    රාත්‍රී කාල‍යේ පෙට්‍රල් ගහන්න ගිහින් මට ඇය හමුවුණා මම බයවුණා යනුවෙන් කියමින් එක්තරා පුද්ගලයෙකු ලියා තිබූ සටහනක්ද එරට සමාජ ජාල තුළ ජනප්‍රිය විය.
    ඇතැම් අය කියා සිටියේ මේ කාන්තාවගේ රුව දැක ඇතිවූ වශීවීම ගැන වර්ණනාත්මක අදහස්ය. සමහරු එම කාඩ්බෝඩ් රුව සමග ෆොටෝ ගසා ෆේස් බුක් ඉන්ස්ටර්ග්‍රෑම් වට්ස් ඇප්හි පළ කර තිබුණි. සමහරු එය සිප වැළඳගෙන ඡායාරූප ලබාගෙන තිබුණි.මෙම කාඩ්බෝඩ් රුව ඇතැම් අය ගලවාගෙන ගොස් ඔවුනට අයත් වාහන වල සවිකරගෙන යන අවස්ථාද වාර්තා විය.

    මේ අතරවාරයේ ඇය මුස්ලිම් කාන්තාවක වීම නිසා ඇතැම් සංවිධාන එම අවභාවිතාවන් නොරිස්සුම් ලෙස හෙළා දැක තිබුණි. මුස්ලිම් කාන්තාවන්ගේ ගෞරවය කෙළෙසන දැන්වීම් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ෂෙල් සමාගමට එරෙහිව විරෝධතාද ගලා ආවේය.
    මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ මැලේසියානු ෂෙල් සමාගම එම දැන්වීම ඉවත් කර ගැනීමයි.
    ඒ වෙනුවට ඇගේ පෙනී සිටීමට සමාන කඩ ඉරිවලින් ඇන්ද කාඩ්බෝඩ් රුවක් සවිකරන්නට එම සමාගම කටයුතු කරන ලද අතර ඒ සමග සිදුවූ වරදට සමාවද භජනය කර තිබුණි.


  • , , ,

    සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

    අපි කඳුළු සලන්නේ ඇයි – පර්යේෂකයින් සොයාගත් විස්මිත කරුණු

    කඳුළ විරහවේ සංකේතයකි. කෙනෙකුගේ නෙතඟ කඳුළක් දුටුවිට අපේ සිත් උණු වේ. කඳුළෙන්ම දිවි ගෙවන ජීවිතද විටෙක අපට හමුවේ.

    එහෙත් කඳුළෙ විද්‍යාව ගැන අප මොහොතකටවත් සිතුවා ද? සියවස් ගණනාවකට පෙර එනම් 1600 ගණන්වල කඳුළට මුල හදවත බවට විශ්වාස කැරිණි. පැරැන්නන් එම සූත‍්‍රය දැක්වූයේ මෙලෙසිනි. චිත්තවේග (විශේෂයෙන්ම ආදරය හා බැඳුණු) හදවත උණු කරයි. එ් උණුසුම නිවන්නට හදින් ජල වාෂ්ප වැනි දෙයක් උත්පාදනය වේ. හදින් නැඟුණු වාෂ්ප හිස දක්වා ගමන් කර දෙනෙත් ළඟ කැටි ගැසී පසුව කඳුළු ලෙසින් ගලා එයි.
    එහෙත් 1662 දී ඩෙන්මාර්ක විද්‍යාඥයකු වූ නීල්ස් ටෙන්සන්ගේ සොයාගැනීම වූයේ කඳුළ බිහිවන නියම තැන කඳුළු ග‍්‍රන්ථි බවයි. එකල ඔහුගේ සිද්ධාන්තය වූයේ සරලවම කඳුළෙන් කැරෙන්නේ කෙනෙකුගේ දෙනෙතට අවශ්‍ය තෙතමනය රඳවා තැබීමයි. කලින් කලට කඳුල ගැන විවිධ විද්‍යාඥ මත පළ විය. 1960 ගණන්වල ප‍්‍රකාශිත එක් මතයක් වූයේ මිනිසා ජලජ වානරයකුගෙන් පැවත එන නිසා ලූණු ජලයට ඔරොත්තු දෙනු පිණිස නෙතඟට කඳුළු එක්වුණු බවයි. මෙම මතය එකල සමච්චලයට ලක්ව ඉඳුරාම බැහැර කැරිණි. 1985 දී විලියම් ෆේ‍ර නමැති ජීව රසායන විද්‍යාඥයා ගෙන හැර පෑවේ ආතතිය නිසා කෙනෙකුගේ ශරීරය තුළ එක් රැස්වෙන විස කොටස් කඳුළ මඟින් මුදාහැරෙන බවයි. එයට ද පිළිගතහැකි සාධක ඉදිරිපත් නොවීය.
    පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින් වරක් පැවසුවේ චිත්තවේග පළ කරන කඳුළ වැදගැම්මකට නැති දෙයක් බවයි. එහෙත් ඉන් අවුරුදු 150 කට ආසන්න කාලයක් ගෙවී යද්දී චිත්තවේග හා බැඳුණු කඳුළ මිනිස් සිරුරේ පුදුමාකාර සංකීර්ණ නිර්මිතයක් බව පසක් කැරගෙන තිබේ.
    ඇතැම් සත්වයකු විටෙක වේදනාවකට හෝ කැක්කුමකට හැඬුවද නිරන්තරව මිනිස් කඳුළ හැඟීම් හා බැඳී පවතින බව පර්යේෂකයන්ගේ මතයයි. හැඬීම පිළිබඳව නිබඳ පර්යේෂණයේ යෙදෙන ලොව ප‍්‍රමුඛ පෙළේ විශේෂඥයකු වන මහාචාර්ය ඇඞ් වින්ගහූටස් ‘Why only Humans weep’ (මනුෂ්‍යයන් පමණක් හඟන්නේ ඇයි?) යන කෘතිය සම්පාදනය කරමින් වැදගත් කරුණු රැසක් අනාවරණය කරයි. කඳුළින් උත්තේජනය කැරෙන්නේ සමාජ බැඳීම් හා මානුෂික සබඳතා යන්න ඉන් වඩාත් අවධානයට ලක්ව ඇති මතයයි.
    අප ළදරු වියේ සිටම හඬන්නට පුරුදු වී ඇත්තේ තවත් කෙනෙකුගේ අවධානය දිනා ගැනීමටයි. ලොකු මහත් වී හඬන විටද මේ පොදු සත්‍යතාව එලෙසම පවතී. තාවකාලිකව හෝ තමා තුළ තමාටම විසඳාගත නොහැකි ප‍්‍රශ්නයක් ඇති විටද තවකෙකුගේ ප‍්‍රතිචාරය එ් සඳහා ලබාගන්නේ හැඬීමෙන් බව කඳුළු පර්යේෂකයෝ පෙන්වා දෙති. කඳුළ කෙතරම් සිත් සසල කරවන සුළු ද යන්න එකම පුද්ගලයකුගේ දෙවිදියක ඡායාරූප යොදාගනිමින් මෙම පර්යේෂකයන් විසින් කරන ලද අත්හදා බැලීමක දී තහවුරු වී තිබේ. කඳුළු සහිත මුහුණ සහ ඩිජිටල් තාක්ෂණයෙන් කඳුළු කඳුළු මකා දමන ලද මුහුණ දෙයාකාර ප‍්‍රතිචාර ලබා ඇත. එම පරීක්ෂණයට සහභාගි වූවන් වඩාත් බැඳීමක් දක්වා ඇත්තේ හැඬූ කඳුළින් පසු වූ මුහුණටයි.
    කඳුළෙ ද ප‍්‍රභේද තිබේ. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ගෘහණියක් ළුෑනු කපන විට නැඟෙන කඳුළත් හැඟීම්බරව හඬන විට නැඟෙන කඳුළත් පිට කරන ද්‍රාවණය රසායනික අතින් වෙනස් බවය. හැඟීම්බර කඳුලෙහි ප්‍රෝටීන් වැඩි
    වශයෙන් තිබේ. එය ඝනකමින්ද වැඩිය. ආදරවන්තයන්ගේ ලෝකයට ද කඳුළ නැතිවම බැරි දෙයකි. එම කඳුළ සැබැවින්ම ඔවුන්ගේ සිත් බිඳීම්, කෝපය වැනි දේවල් සමනය කරන ‘තීරකයකු’ බඳුය. කඳුළින් බොහෝ උණුසුම් මත ගැටීම් ස්වල්ප මොහොතක දී නිවී යන බවද සොයාගෙන තිබේ. ‘Science’ නමැති සඟරාව මගින් තව අපූරු විද්‍යාත්මක සොයා ගැනීමක් කර තිබේ.
    එයින් පැවසෙන්නේ ස්ත්‍රියකගේ කඳුළු පිරිමියෙකුගේ ලිංගික පිබිදීම නිෂේධනය කරන බවයි.
    කඳුළ මිනිස් සබඳතා තහවුරු කරන සාධකයක් නම් නොහඬා සිටින මිනිසුන් සමාජයෙන් ඈත් වූ කොටසක් ද? මේ පිළිබඳව ජර්මන් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු විසින් පුද්ගලයන් 120 දෙනෙකු යොදාගෙන කරන ලද පරීක්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ කඳුළක් නොහෙළන පුද්ගලයාට ලෙහෙසියෙන්ම මානව සබඳතාවලින් ද ඈත් විය හැකි බවයි. එමෙන්ම එ් ගැන ඉතා ලඝු කොට සලකා කම්පා නොවී සිටිය හැකි බවයි. ඔහු පෙන්වා දෙන අන්දමට ළතෙන් ගුණයක් නැති කඳුළක් නැති මිනිසා තුළ බොහෝ විට ඇත්තේ නිෂේධාත්මක සිතුවිලිය. කෝපය, කලකිරීම, ප‍්‍රචණ්ඩත්වය පෙරදැරි සිතුවිලිය. එහෙත් හැඬීමෙන් කෙනෙකුගේ මනසට සහ සිරුරට ශාන්තියක් සැලසේය යන්න හෝ කඳුළු නොසලා හිත දැඩි කරගෙන සිටින කෙනෙකුට ඉන් අවැඩක් වේය යන්න හෝ ඔප්පු කිරීමට තරම් සාධක පර්යේෂකයන් විසින් මෙතෙක් සොයා ගෙන නොමැත.

    රීඩර්ස් ඩයිජෙස්ට් ඇසුරින්
    රෝහණ වෙත්තසිංහ