
ස්වාමීන් වහන්ස, එදිනෙදා ජීවිතයේදී බොහෝ අවස්ථාවල පිරිත් අසන්නට ලැබෙනවා. පිරිත් ශ්‍රවණය කිරීමෙන් මිනිසුන්ට සෙත සැලසෙන බවට පවතින විශ්වාසය බුදුදහමට එකග වන්නේ කොහොම ද?
බුදුදහමේ ගුප්ත සහ අන්ධ විශ්වාසයන්ට කිසිසේත් තැනක් නැහැ. බුදුදහම කියන්නේ පරික්ෂා කිරිමෙන්ම සත්‍ය වටහාගත යුතු දෙයක්. බුදුරදුන් අපට දේශනා කළේ බුදු දහම වටහා ගන්නට නම් බුද්ධියට මුල් තැන දිය යුතු බව යි. සමකාලීනව විවිධ භක්තිවාදි ආකල්ප බුදුසමය තුළට පිවිසුණා. නමුත් මූලික බුදුසමයෙන් එවැනි ගුප්ත විශ්වාස මුලකොටගත් භක්ති ආකල්ප තරයේම ප්‍රතික්ෂේප කරනවා. නමුත් වර්තමානයේ බුදුදහමේ ගුප්ත බලයක් ඇතැ යි සිතන පිරිස් ද ඉන්නවා. පිරිත් දේශනා ශ්‍රවණය කිරීමෙන් නිකම් හිඳින මිනිසුන්ට සෙත සැලසෙනවා යැ යි පැවසීම මුසාවක්. බොහෝ සූත්‍ර දේශනාවල මුළුමනින් ම දැක්වෙන්නේ ත්‍රිවිධ රත්නයේ ගුණ. ඒවා සිහි කිරීම භාවනාමය කුසලයට අයත් වෙනවා. ඒ කුසලය අපගේ දෙලොව ම යහපතට හේතු වෙනවා. නමුත් තිසරණ සහිත පංච ශිලය වත් සමාදන් වී එහි නොපිහිටා ලාභය සහ පහසුව පිණිස සුත්‍ර දේශනා අර්ථ විරහිතව සජ්ඣායනය කිරීමෙන් කිසි ම යහපතක් උදා වෙන්නේ නැහැ.
ඒ නිසා පිරිත් ශ්‍රවණයෙන් නිසි ඵල ලබන්නට නම්, පළමුවෙන්ම පිරිත පිළිබඳ ක්‍රමානුකූල අවබෝධයක් ලබාගන්නට ඕනෑ. ඒ වගේ ම තම තමන් ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕනෑ. පස් පවින් වැළකී, තුන් දොරෙහි සංවරකම රැකගෙන, මෙම පිරිත්තෙන් අප හට යහපතක් ම වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනාකොට අවසන් වන තුරු පිරිත් ශ්‍රවණය කිරිම යි වඩා වැදගත් වෙන්නේ.
පිරිත් දේශනාවේදී භාවිත කරන පාළි වචනවල අර්ථය නොදන්නා සාමාන්‍ය අයට ඒ සූත්‍රවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි බව පවසමින් අද සිංහලෙන් පිරිත් සජ්ඣායනය කෙරෙනවා.
ඕනෑ ම පිරිත් පොතක, ඒ විතරක් නොවෙයි අපේ කුඩා දරුවන්ගේ පාසල් පොත්වල පවා ඔය සූත්‍ර දේශනා සමඟ ඒවායේ සරල සිංහල තේරුම තියෙනවා දන්නේ නැහැ කියල කියන කතාව ලාභයටත්, පහසුවටත් කියන එකක් නොවෙයි ද කියලා පොඩ්ඩක් හිතල බලන්න. සමහර විට අපි අතරේ කවුරුන් හෝ සිංහල කියැවීමට බැරි කෙනෙක් ඉන්න පුළුවන්. ඒ අයටත් කිසි ම බැරිකමක් නැහැ කියවීමට පුළුවන්, ඕන කෙනෙකුගෙන් තේරුම අහලා දැනගන්න. ඒවා ඒ තරම්ම සරල යි. ඒ නිසා වුවමනාව තියෙනවා නම් මොනවද කරන්න බැරි?
අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ උදේ හවස කියවන තුන් සූත්‍රයේ භේරුම නොදන්නා අපේ සමහර ඇත්තන්ට හින්දි භාෂාවෙන් කියන සමහර දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන්! කොහොම ද හින්දි ඉගෙනගෙන තියෙන්නේ? රූපවාහිනියෙන් ම චිත්‍රපටි බලලා. ඒ නිසා බුද්ධිය නැතිකම නොවෙයි තියෙන්නේ, වුවමනාව නැතිකම යි. අද ඇතැම් පිරිස් සිංහලෙන් පිරිත් කියනවා. මට නම් හිතෙන්නේ අලුත් යමක් කළා කියල ප්‍රසිද්ධ වීමට යි, මෙවැනි දේවල් සිදු කරන්නේ , අතීතයේ අනුරාධපුර, පොලොන්නරු, දඹදෙණි, කොට්ටේ යුගවල ධර්මධර භික්ෂුන් වහන්සේලා හිටියේ නැද්ද? පොත් ලිවේ නැද්ද? බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, කාව්‍යශේඛරය, කසිළුමිණ, ගුත්තිලය වැනි පොත් ලියැවුණේ ඒ කාලයේ. ඒ යුගවල වැඩ සිටි භික්ෂූන් වහන්සේ සිංහලෙන් පිරිත් කිව්වා කියලා කොහේ හෝ සඳහන් වෙලා තියෙනව ද? බුදුරදුන්ගේ මුවින් පිට වූ බුද්ධවචනය ම සජ්ඣායනය කිරීමයි පිරිත් වෙන්නේ. බුද්ධවචනය සිංහලෙන් කියනවා නම් ඒක බණක්. ඒ නිසා බුද්ධවචනය පාළියෙන් හැර වෙනත් කිසි ම භාෂාවකින් නැහැ. එහෙම නම් ඒ පිරිත ම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙනුත් කියන්න ඕනෑ. මේ තත්ත්ව යෙන් ශාසනයට අලාභයක්, අයහපතක්, මිසක් යහපතක් නම් වෙන්නේ නම් නෑ.
බුදු රජාණන් වහන්සේගේ සමස්ත දේශනාවලින් වැඩි ප්‍රමාණයක් දේශනා කළේ මේ ජේතවනාරාමයේදි යි. එහි ආරම්භය කෙසේ සිදු වී ද?
සැවැත්නුවර පිහිටා තිබෙන්නේ එදා දඹදිව පිහිටි සොළොස් මහා ජනපද අතර කොසොල් ජනපදය තුළ යි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර අත්පිඬු සිටුතුමාගේ ආරාධනාවෙන් සැවැත්නුවරට වැඩම කළා. එහිදී උන් වහන්සේට වැඩහිඳීම සඳහා කොසොල් මහ රජතුමාගේ පුතකු වූ ජේට අයත් උයනෙහි පුරා බිම වැසී යන සේ කහවණු අතුරා ඒ මිලට ලබාගෙන අනේපිඬු සිටුතුමා බුදුරදුන්ට ජේතවනය පූජා කළා. ප්තවනාරාමය මිලදී ගෙන, එහි ආරාම ඉදි කර සම්පූර්ණ කිරීම සඳහා කෝටි 54ක ධනයක් වැය වුණා. සූත්‍ර පිටකයට අයත් සූත්‍ර ධර්ම සියයට අසූවක් පමණ ද, විනය පිටකයට අයත් විනය ශික්ෂ සියයට හැත්තෑ පහක් පමණ ද, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජේතවනාරාමයේදී යි.
එදා බුදුන් දවස ධර්ම සන්නිවේදනය සිදු වුණේ ජේතවනාරාමය වැනි ආරාම තුළින්. නමුත් අද ලංකාවේ 'අසපු' වටා බෞද්ධයන් ඒකරාශි වෙමින් පවතිනවා.
අසපුව' යන්නෙහි තේරුම ආශ්‍රම යි. ඉන්දියාවේ එවැනි අසපු තියෙනවා. ඒවායේ භික්ෂූන් නැහැ. හින්දු පූජකවරු ඉන්න තැන්වලටයි ආශ්‍රම' කියන්නේ. අසපුවල එදත් සිටියේ බුදුරදුන්ට විරුද්ධවාදී පිරිස. උන් වහන්සේට බොහෝ සතුරුකම් කළ තීර්ථකයෝ, ජෛන ආගම් පිරිස් එදා හිටියේ ආශ්‍රමවල. අපේ තිබුණේ ආරාම. ඉතිහාසයේ කිසිම තැනක බෞද්ධ ආශ්‍රමයක් තිබුණා ද? ඉන්දියාවේත් ජේතවනාරාමය, වේළුවනාරාමය ලෙසෙයි නම් කෙරුණේ. . බෞද්ධයන් සිතනවා නම්, 'අසපුව' වටා ඒකරාශි විය යුතුයි කියලා අනාගතයේ මහා පරිහානියක් සිදු වන්නේ. මේ නිසා අද ඇතැම් පන්සල් වැහිල ගිහිල්ලා. චෛත්‍ය, බෝමළු, ධර්මශාලා පාළුවට ගිහිල්ලා.මේ ඇති වන්නේ අලුත් යුගයක ආරම්භයක් ද?
මේ නිසා ශාසනයට අනාගතයේ මොන වගේ දෙයක් සිදු වේවි ද? කියල ජනතාව තීන්දු කරාවි.
එදා ජේතවනාරාමය බුදුරාජණන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේ වැඩ සිටි නිවාස සංකීර්ණයක්. මේ අතරින් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත් වූ අසු මහා ශ්‍රාවක පිරිසක් ද හිටියා. මේ තනතුරු ලැබීමට උන් වහන්සේලා සිදු කළ පින්කම් මොනවා ද?
බුදු සසුනේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානය ලැබූවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යි. ඍද්ධිමතුන්ගෙන් අග්‍රස්ථානය හිමිවුණේ, ඒ වගේ ම මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ ඇති හෙයින් බහුශ්‍රැත භික්ෂූන් අතරින්, බුද්ධ වචනය සින්හි ධාරණය කළ භික්ෂූන් අතරින්, සියලු උපස්ථායක භික්ෂූන් අතරින් අග්‍ර වූයේ ආනන්ද මහරහතන් වහන්සේ යි.මේ සියලු තනතුරු ලැබූ භික්ෂුන් වහන්සේ සංසාරයේ පාරමිතා පිරූ පිරිසක්. සීවලී මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුරජුන්ගේ කාලයේදී දන් වැටක් සතියක් පවත්වා ප්‍රාර්ථනා කරනවා "මට ගෞතම බුදුරන්ගේ කාලයේදී ප්‍රත්‍යලාබීන් අතරින් අගතැන් ලැබේවා!” කියාල. එපින් බලෙන් රහත් වූ දින පටන් සීවලී මහ රහතන් වහන්සේට ප්‍රත්‍යලාභයෙන් කිසි දිකෙක අඩුවක් වුණේ නැහැ. කොතැනක වැඩියත් දානමානාදියෙන් අඩුවක් වුණේ නැහැ.
දැන් අපි තව පැත්තක් බලමු. අපේ බුද්ධ ශාසනයේ වැඩ සිටි ලෝනකතිස්ස මහරහතන් වහන්සේට කිසි ම දිනෙක බඩ පිරෙන්න දානය වළඳන්න ලැබුණේ නැහැ. හැමදාමත් බඩගින්නේ හිටියේ. ඇයි එහෙම වුණේ? පෙර ආත්මයකදී භික්ෂූන් වහන්සේ නමකගේ දාන වේලක් ගින්නට දමා විනාශ කළ පවෙන් රහත් වූ ආත්ම භවයේදී එහි විපාක විඳින්නට සිදු වුණා. සීවලී රහතන් වහන්සේගේ හොඳ ක්‍රියාවන් නිසා කුසල විපාකත් ලෝනකතිස්ස රහතන් වහන්සේගේ අකුසල ක්‍රියාවන් නිසා අකුසල විපාකත් ලැබුණා.
දැන් අපේ සමාජයෙ සීවලී රහතන් වහන්සේගේ පින්තූරෙට මල් පූජා කරල දුම් අල්ලල ප්‍රාර්ථනා කරනවා, සීවලී මහරහත් හිමියන්ගේ ප්‍රත්‍යලාභී ගුණයෙන් මටත් සම්පත් ලැබේවා! කියලා. එහෙම කොහොම ද ලැබෙන්නේ?
කවුරුවත් හිතනවා නම් කැම විතරක් තිබුණට මදි, බුද්ධියත් ඕනෑ කියලා. එහෙම නම් සීවලී හිමියන්ගේ පින්තුරයට අමතරව සැරියුත් හිමියන්ගේ පින්තූරයකුත් එල්ලගන්න පුළුවන්, මල් තියල දුම් ඇල්ලුවහම බුද්ධියත් ලැබෙනවා. එහෙම නම් මුගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මල් තියලා දුම් ඇල්ලුවහම සෘද්ධි ප්‍රාතිහාර්යයක් ලැබෙන්න ඕනෑ. එහෙම නම් අපි කොච්චර නොමඟ ගිහිල්ලා තියෙනවද? තෘෂ්ණාවෙන් අධික වුණහම පහසුවෙන් ලබාගන්න පුළුවන් මාර්ග හොයනවා. අද මිනී පෙට්ටි කඩකාරයත් සීවලී හාමුදුරුවන්ගේ පින්තූරයට මල් පහන් පූජා කරලයි වැඩ පටන් ගන්නේ. කසිප්පුකාරයොත් පික්පොකට්කාරයොත් එහෙමයි. මට දැනගන්න ලැබුණා අනුරාධපුරය අසල මස් කඩයකත් සීවලී පින්තූරය එල්ලලා තියෙනවා කියලා. ප්‍රාර්ථනා කිරිමෙන් ආයාචනා කිරිමෙන් පලක් නොවන බවයි සැබෑ බෞද්ධ ඉගැන්වීම. මෙසේ ධර්ම මාර්ගයෙන් පිට පැන කටයුතු කරන අය බෞද්ධයන් ද උපාසක චණ්ඩාලයන් දැ යි මඳක් කල්පනා කර බලන්න.
Comments
Post a Comment