කාපිරිගම
මේ කතාවේ හැටියට මේ ගමට නම හැදුණේ එහෙමයි ඕං. කතාවේ හැටියට භාතිකාභය රජතුමා මහා වැවක් තැනුවා. මේ වැවට පරහක් තිබ්බා. ඒ මහවැසි සමයට වෑ බැම ඈගුල් වෙලා බිඳෙනවා. වැසි හමාර වූ විගහ හැදුවත් ආයේ - ආයේ කඩවළ බිඳී යනවා. භාතිකාභය රජතුමා මේ ගැන වැව් ලේනාංග න් විමසා සිටියා. වැව් ලේනාං වැව් ශාස්ත්‍රය අනුව බලලා මේ කඩවළ ගොඩකර වෑ බැම්ම තනන්ටනම් නර බිල්ලක් දිය යුතු බව පෙන්වා දුන්නා. දැන් කොහින් දෑ නරබිලි! " ඕං ඒ ගැන වැව අයිති ගංකරයේ විදානේ ඇත්තෝ කතිකාකළා, ඊට පහු අපූරු උප්පරවැට්ටියක් යෙදුවා. මොකද කවුරුහරි නරබිල්ලක් දීලා හිටං කඩවල ගොඩකර ගත්තොත් ආයේ ඒ අහල ගං හතට සාරයි. ඔන්න බලමුකෝ එක්තරා
ස්ත්‍රියාවක් මේකට පිළියෙල කර ගත්තා. ඒ කඩවළට දමා මරා දමන හැටියට නෙමේ. කඩවළ බඳින්ට කවුරුත් එනවාමින් උදව්වට. මේ ඇත්තියටත් වරෙන් කියා හිටියා. මේ ස්ත්‍රිය වයෝවෘද්ධයි. ඒ වගේම කනවැන්දුම් ඇත්තියක්. පිරිස රහසින් කඩවළ අද්දර පස් කුඩා රැස් කරලා තිබ්බා. ඇත්තටම වාගේ. අර උන්දා කඩවල ගාවට ගෙනත් හිතං උන්දෑගේ විට මල්ලේ තිබ්බ ගිරා කැත්ත හොරෙන් ඇන්න දැම්මා කඩවළට. පොච්චියේ උඹ හැගේ ගිරාකැත්ත කඩවළට වැටුණා බලමු කියලා කිව්වා. ඒ ඇත්ති කඩවළට බැස්සා ගිරා කැත්ත හොයන්ට. එතකොට ම කලින් ගොඩකරගත් පකූඩා ඇගේ පිට මැද්දට පත බෑවා. උන්දෑ කඩවළේ කම්මුතුයි. ඒකෙන් පස්සෙ වෑබැම්මත් හරි ගියා. එදා හිටං වෑබැමට ජීවිතේ පුදාපු ඒ ඇත්තිගේ නම කාපිරි හින්දා කව්රුත් මේ ගංකරය කාපිරිගම කියලා කියන්න හුරු වුණා.
දූනගහ
හිටියා එක් සිටු පවුලක්. මේ සිටු පවුලට ආයේ එසේ මෙසේ ධනස්කන්ධයක් එහෙම නෙවෙයි තිබුණේ. බැලු - බැලූ අත හරකා බාන - වතුපිටි අලි ඇත්තු බාන් පිටින් උන්නා. මේ සිටු පවුලට වාසනාව ගෙනාවේ සිටු දුවණියයි. සිටුතුමා සහ එම සිටු දේවියට හිටියේ එක ම එක කෙලි පැටික්කියෙක් විතර යි. මේ දැරිවි හම්බ වුණා විතරයි සිටුතුමාට තව තවත් ධන ධාන්‍ය ගලාගෙන එන්ට වුණා. මේ හින්දත් සිටුතුමා වාගේ ම සිටු දේවිය දෑස වගේ ආදරයෙන් දෝණි රැකබලා ගත්තා. වැඩේ කියන්නේ සිටු දෝණි වැඩිවියට පත් වුණා විතරයි හිතුවක්කාර වෙන්ට ගත්තා. සිටු මැඳුරේ ඇත්තන් කියා සිටින දේ අහන්ට ගියේ නෑ. පවුලේ එකම හුරතලිය හින්දත්, සිටුතුමාගේ බුරුල හින්දත්, දඟකම් දිගටම කළා. දොහක් අම්මා දූ දෙදෙනා විරසක වුණා. සිටු දියණිය ගිහින් නැග ගත්තා නා ගහකට. සිටුමැඳුරේ සේවක පිරිස් හෙව්වා. රෑ බෝ වෙද්දි හොයා ගත්තා. සිටු දියණිය උන්නේ නා ගහක් උඩයි. ඒ විත්තිය ගිහින් සිටු දේවිය කියා හිටියා සිටුතුමාට. දූ - නා ගහේ කිව්වා. දූ නා ගහේ කියාපු හින්දා ඒ නාගහ තිබ්බ සාවියට දූනාගහ කියන්ට ගත්තා. මං ඒක බැහැර වුණේ දූනගහ කියලා නොවැ.
බඹරදොළ
ඒ පළාතේ ඇත්තේ දියවර සපයා ගත්තේ දොළකින්. දොළක් කිව්වහම ආයේ, ලේසිපාසු දොළක් එහෙම නෙමෙයි. ඕනෑම ඉඩෝර කාලෙක මේ දොළ සාරයි. නාඹර තල්කඳන් වාගේ දිය ගොබයෙන් දිය වෑස්සෙනවා. මේ හංදන්නේ ඒ දොළට හරි ඒ පළාතට හරිහමන් නමක් පටබැඳිලා තිබුණේ නෑ. ඒ ඒ ඇත්තෝ වයිවාරං නම් ගම් කියා හිටියා. කිව්වහම ඒ දොළ පිහිටි සාවියට යන්ට තිබේ කඳු පාරකින්. මොකද මේ සාවිය පුරා ම කඳු පිහිටලා තිබුණා නොවැ. ඒකයි ඕ. ඔන්න එක ඉඩෝර සන්දියක් ආවා. වට පිටාවේ තිබ්බ දියකඳුරු සියල්ල හිඳිලා ගියා. කොයිකටත් තිබේ මේ දොළ විතරයි. ඒ හන්දන් වෙනදාට වඩා පිරිස් ආවා දොළට. වැඩේ කියන්නේ ඒ සන්දියේ දොළට ආවා නොවැ පුදුම තරමට බඹරු. එක රොත්තට ආ බඹරු - දවසට දෙකට දොළ පාර දිගට ම බඹර වද බඳින්නට ගත්තා. මේ හින්දත් මිනිස්සු හරි පරිස්සමට ආවේ ගියේ. වැඩි දවසක් ගියේ නෑ බඹර පිරිලා තිබ්බ ඉසවේ දොළ හැඳින්වූයේ බඹර දොළ කියලා. මේ වෙද්දි බඹරත් නෑ දොළත් නෑ. හැබැයි බඹරදොළ නම තාම පවතීවා.
පරකඩුව
ඔය - අපේ සීතාවක රාසිං දෙයියෝ උන්නානේ. උන්නැහේට හෙට හිටියේ පරංගියා. පරංගියා කොයි වෙලේත් මාන බැලුවේ සීතාවක රාසිං රජු ගිලගන්ටයි. මේ කටයුත්ත ලේසි පාසු නොවුණේ අපේ සිංහල වීරෝදාර සෙනෙවිවරුන් හිටපු හින්දයි. ඒ වගේ එක සෙනෙවියෙක් හිටියා. පරංගියා එක්කලා හටන් කරේ කඩුවෙන්. ඒක ලේසි පාසු කඩුවක් නෙමෙයි ඈ. රිදියෙන් වැඩ දාලා හදලා තියෙන මේ කඩුව ලේසි පුතෙකුට උස්සන් ඉන්ට බෑ. හරියට යගදාවක් වාගේ. දිගයි පළලයි - එහෙම කඩුවක් ඔසවන්නට නම් යෝධ අතක් වාගේ ම අතපයේ හයි හන්තියත් යහමින් තියෙන්ට ඕනෑ. කිව්වහම ආයේ එහෙම ලේන්සි පසු සෙනෙවියෙක් නෙමෙයි. මේ කඩුව දරාගෙන පරංගියා එක්කලා හටන් කළේ. පරංගින්ගේ හටන් කෙරුවාවට වඩා මේ සෙනෙවියාගේ කඩුව ඒ පළාතේ නම් දරාපු කඩුවක් වුණා.ගං ඉතිං, මේ සෙනෙවි තෙමේ පරංගි කඩු ගාලා දාලා සීතාවක රාසිං දෙයියන්ට ජය අත්කරලා දුන්නට පස්සෙන් පහු ඒ නම් දරාපු කඩුව අරන්ගෙන ගියා තමුන්ගේ ගංගෙවල් සාවියට. පරංගි හටන් නැති හින්දා මේ කඩුව බලන්ට සෙනඟ ආවා. පරංගි කපාපු කඩුව හින්දා ඒ කඩුව පර කඩුව කියලා ඒ ආගිය ඇත්තෝ කියන්න ගත්තා. ඕ එතැන් සිටන් ඒ පළාත නිකම් ම පරකඩුව බවට පත් වුණා ලු ඈ!
තලපත්පිටිය
කෝට්ටේ රාජධානි සමයේ කෙමෙන් කෙමෙන් ව්‍යාපාර දියුණු වෙන්ට ගත්තා. ඒ කෝට්ටේ පළාත පුරුතුගීසීන් වෙළෙඳාමට හුරු කරගත් හින්දා. ඕ මේ අවධියේ වෙළෙඳාමට ඕනෑ කලපන්න ජාති අසුරලා තියාගත්තේ තලපවලයි. තල් ගස්වල පත් - ඒ කියන්නේ ගොබ කපා ගන්නවා. ඒවා උණු දියේ දමා තම්බනවා. ඊට පසුව ඒවා අව්වේ වේළා ගන්නවා. පසුව, උවමනා පරිමාව කපාගෙන තලපත්වලින් කුඩා වියා ගන්නවා. පුරුතුගීසීන් වෙළෙඳාමට ශූරයන් නිසා මේ තලපත් කුඩා වියන්නන්ටත් යහපත් කාලයක් උදා වුණා. ඇයි කොච්චරවත් තලපත් කුඩා ඕනෑ වුණා නැව්වලින් බඩුමුට්ටු එහාට මෙහාට යවන්නට. ඒ වගේ ම කඩ වීදිවලත් වෙළෙඳාම් කළේ තල්පත් කුඩාවල බඩුමුට්ටු දමාගෙනයි. මේ හින්දා ම ඕ තලපත් ගොඩ කපා පදම් කරලා ඒවායින් කුඩා තනන උදවිය ගැනත් ඩිංග ඩිංග කථා කරන්න ගත්තා. ඒ තලපත් කුඩා හදන කියන ඇත්තන් ඒවා කළේ කුඩා පිට්ටනියකයි. ඇයි දන්නවාද තල කොළ කපාගෙන ඒවා තම්බන්ට ඕනෑනේ. මේවා තම්බලා වේළාගන්නට ඕනෑ. මේ හින්දා තලපත් වේළා කියා ගත් පිට්ටනිය තිබුණු සාවිය තලපත්පිට්ටනිය තලපත්පිටිය කියලා කියන්න වුණා. ය. මේ වෙද්දි ඒ සාවියේ තලපත් නෑ. ඒකට තලපත්පිටිය කියන නම තියෙනවා නොවැ.
Comments
Post a Comment