gossiplanka image 1
 


ගිහි ජීවිත ගත කරන ඔබ සාර්ථක ගිහියකු විමට නම්, බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව ඔබ පළමුවෙන් ම බහුශ්‍රැත විය යුතුයි. 'බහු සතුංච" යන වචනයෙන් බුදුරජාණන්වහන්සේ අවධාරණය කරනු ලැබුයේ. බහුශ්‍රැතවීම පිළිබඳව යි. බහුශ්‍රැතවීම යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවයි. ඔබ සාර්ථක ගිහියකු වීමට නම්, ඔබට අවශ්‍ය දැනුම සහ  අවබෝධය ප්‍රාමාණික වශයෙන් ඔබ වැඩිකර ගත යුතුයි. දැනුම සහ අවබෝධය තමාගේ ජීවිතය තුළ ප්‍රාමාණිකව වර්ධනය කර නොගත හොත් ඔහු අසාර්ථක ගිහියකු වෙයි. ගිහියන් වන ඔබට විශාල ලෞකික විෂයයන් පරාසයක ජීවත්වීමට හා කටයුතු කිරීමට සිදුවෙයි. බෞද්ධයකු ලෙස ආධ්‍යාත්මික විෂය පිළිබඳවත්, ලෞකික ජීවිතයට අදාළ වන දැනුම සහ අවබෝධය වර්ධනය කරගැනීමටත් ඇප කැප  විය යුතුයි. සම්පූර්ණයෙන් ම ඔබට පරමාර්ථ සත්‍ය පිළිබඳව පුර්ණ ඤාණය උපදවා ගැනීම පමණක් ගිහිකමට ප්‍රමාණවත් වන්නේ නැත. පරමාර්ථ සත්‍ය පිළිබඳව පූර්ණ අවබෝධයක් තිබීම පැවිදි උතුමකුගේ සාර්ථකත්වයට හේතු වුවත්, ගිහියන් වන ඔබට සියයට සියයක්ම  කටයුතු කිරීමට සිදුවන්නේ පරමාර්ථ සත්‍ය සමග නොවේ.


ගිහියකු වන ඔබ දවසේ තිබෙන්නා වූ වැඩ කටයුතුවලදී වැඩිපුර අවධානය යොමු කළ යුතුවන්නේ සම්මුති සත්‍ය පිළිබඳවයි.සම්මුති ලෝකය තුළ ගිහියකු වශයෙන් ස්වාමිපුරුෂයකුට බිරිඳක් සිටිනවා වගේ ම බිරිඳකට ස්වාමිපුරුෂයකු සිටියි. සම්මුති ලෝකය තුළ ගිහියන්ට දරුවන් සිටියි. එම සම්මුති සත්‍යය පිළිබඳව ඔබට ඉතාම නිවැරදි දැනුමක් අවශ්‍යයි. සම්මුති සත්‍ය පිළිබඳව අප විසින් ලබන්නා වූ නිවැරැදි දැනුම විද්‍යාව වශයෙන් හඳුන්වනු ලබයි. නිවැරැදි සත්‍යය නිවැරැදිව තේරුම් ගැනීමට දැරූ උත්සාහය සම්මුති සත්‍යය වේ. ඔවුන් පරමාර්ථ සත්‍ය පිළිබඳව පර්යේෂණයක, ගවේෂණයක නිරත වන්නේ නැත. සම්මුති සත්‍ය පිළිබඳව ගිහියාගේ දැනුම ඉතා ම නිවැරැදි වුවහොත්, එම ගිහියාට සම්මුති ලෝකය තුළ පැන නගින්නා වූ ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීම ඉතා ම පහසුවෙයි. ස්වාමි භාර්යා සම්බන්ධය සම්මුති සබඳතාවක් මිස, එය පරමාර්ථ වශයෙන් එවැනි දෙයක් නැත. ස්වාමියා යනු පංචස්කන්ධයක් වගේම පරමාර්ථ වශයෙන් බිරිඳ යනු ද පංචස්කන්ධයකි. රූප, වේදනා, සංඥා සංස්කාර විඤ්ඤාණ එම දෙදෙනාට තිබුණත්, සම්මුති ලෝකය තුළ එම දෙදෙනාට ම නෝනා සහ මහත්මයා යනුවෙන් හඳුන්වයි. නෝනා සහ මහත්මයා යන තත්ත්වයේ සිටීමට හැකි වුවත් රූප, වේදනා, සංඥා සංස්කාර, විඤ්ඤාණ යන පරමාර්ථ සත්‍ය තුළ සිටීමට නොහැකි යි.


සම්මුති ලෝකය තුළ වැඩ කටයුතු කිරීමේදී, කෙරෙන ගනුදෙනු වලදී අනෙකාගේ සිත තුවාල කර ගන්නේ නැතිව සිටින ආකාරය පිළිබඳව දැනුමක් තිබිය යුතුය. අනෙකා සමග රණ්ඩු සරුවල් නොවී සිටීමට සිටිය යුතු ආකාරය ඉගෙන ගත යුතුයි. සම්මුති ලෝකය තුළ තිබෙන දැනුම වැඩි ගැනීමට අප උත්සාහ කළ යුතුයි.  බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව, දැන උගත්කම වැඩි වන විට කාම රාග සහ පටිඝ මඳක් හෝ තුරන් වී යයි. අනෙකා සමග අප ගැටුමට යවන චෛසිකය වන පටිඝය හෙවත් දෝමනස්සය මුන කාරණාව අපෙන් ක්‍රමානුකූලව හෝ බැහැර වී යනු ලබන්නේ දැනුම අවබෝධය අප තුළ වර්ධනය වීමත් සමග යි. කේන්ති ගන්නා පුද්ගලයන් බුද්ධිමතුන් නොවන පිරිසක් වෙයි. අප තුළ පවතින දැනුම, අවබෝධය යම් යම් කාරණා සම්බන්ධව වර්ධනය වීමත් සමග අප තුළ කේන්තිය අඩු වී යයි. දැනුම වැඩි වෙන්න වැඩිවෙන්න අප තුළ හට ගන්නා වූ දුක ද අඩු වී යයි.  අප තුළ දැනුම අවබෝධය වැඩිවීමත් සමග ජීවිතවලට බලපානු  ලබන්නාවූ ප්‍රශ්න අඩු වී යයි. කවුරුන් හෝ මිය ගිය පසු, එම මරණය සමග ගැටෙන්නේ නැතිව එය දරාගැනීම සඳහා අපට උපකාර වනුයේ  දැන උගත්කම යි.