gossiplanka image 1
 




බටහිර භෞතික විද්‍යාවේ පහළ වූ විශිෂ්ටතම විද්වතෙකු සහ දාර්ශනිකයකු වන ඇල්බට් අයින්ස්ටයින් විද්වතාගේ ජන්ම පත්‍රයේ සුවිශේෂී ග්‍රහ පිහිටීම් රැසක්ම දැකගත හැකිය. විශේෂ සාපේක්ෂතා න්‍යාය (Special Relativity) වැනි සංකල්පයක් ලෝකයට ඉදිරිපත් කරමින් භෞතික විද්‍යාව නව මගකට යොමු කළ මෙතුමා 1879 මාර්තු 14 ජර්මනියේ අල්ම් (ulm) හිදී උපත ලැබූවේ බුධ හිමි මිථුන ලග්නයෙන් සහ බුධ මහ දශාවෙනි.   මෙතුමාගේ හඳහනේ සුවිශේෂි පිහිටීමක් ලෙස ග්‍රහයින් දෙදෙනෙකු උච්චවීමෙන් සහ ග්‍රහයින් දෙදෙනෙකු නීචවීමෙන් යෙදුන රාජ යෝගයන් හැඳින්විය හැකිය. ඒ අනුව ලග්නාධිපති සහ හතරවැන්නාධිපති බුධ සහ දෙවැන්නාධිපති සඳු නීචව සහ පස්වන්න සහ දොළොස්වැන්න අධිපති සිකුරු සහ හයවැන්න සහ එකොළොස්වැන්න අධිපති කුජ උච්ච වී සිටිති. මීට අමතරව නමැවැන්න අධිපති ශනි සහ දසවැන්න අධිපති ගුරු ධර්මකර්මාධිපති බලයෙන් පරිවර්ථනය වී සිටින අතර සිකුරු ගෙන් මාලවී යෝගයද, කුජගෙන් විපරිත රාජ යෝගයක්ද අයින්ස්ටයින් පඬිවරයාට ලැබී තිබේ.


බුධ, සිකුරු කුජගුරු, සඳු හා රවින්ගේ පිහිටීම් වලින් මෙතුමා සතු වූ ගැඹුරු භෞතික විද්‍යා ඥාණය මැනවින් පිළිඹිඹුවන අතර සිකුරු දසවැන්නේ යෙදීමෙන් අයින්ස්ටයින් කලාවට, විශේෂයෙන්ම සංගීතයට දැඩි ලොල් බවක් දැක් වූ බවට සාක්ෂි සපයයි. (මෙතුමා කුඩා කළ සිටම වයලීන වාදනයට යොමු වූවෙකි) කුජ අටවැන්නේ උච්ච වීම විනිවිද පෙනෙන නුවණ, ස්ථිරත්වය, හදිසි ධනලාභ වැනි දේට හේතුවූවා මෙන්ම එය විවාහ ජීවිතයට එතරම් හොඳ පිහිටීමක් නොවූ බව ප්‍රථම විවාහය අසාර්ථක වීමෙන් පැහැදිළි වේ. (1903 දී මිලේවා මාරික් සමඟ විවාහ වූ අයිස්ටයින් 1914 දී ඈගෙන් නිත්‍යානුකූලව වෙන් වී 1919 දී වෙනත් විවාහයක් කරගනු ලැබීය.) අයින්ස්ටයින් විද්වතාගේ ජීවිතයේ විශේෂ කාල පරිච්ඡේදයන් ලෙස වයස අවුරුදු 16 සිට 36 අතර කාලය තුළ ගතකළ සිකුරු ගේ මහ දශාවත්, 36 සිට 42 අතර ගතකළ රවිගේ මහ දශාවත් හැඳින්විය හැකිය. මෙතුමාගේ ප්‍රථම විවාහය (1903) මෙන්ම භෞතික විද්‍යාඥයකු ලෙස නව සංකල්පයන් බොහොමයක්ම ඉදිරිපත් කළ (විශේෂ සාපේක්ෂතාවාදාය ඇතුළුව) 1905 වර්ෂයද අයත් වන්නේ සිකුරුගේ දශාවටය.  අයින්ස්ටයින් පඩිවරයා "ප්‍රකාශ විද්‍යුත් ආචරණය'' Photo electric effect සොයා ගැනීම වෙනුවෙන් 1921 නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ එතුමාගේ රවි මහ දශාවේ සිකුරු අතුරු දශාව ගතකරමින් සිටියදීය.