මියගිය කාන්තාවගේ දූ දරුවනුත් නෑදෑ හිතවතුනුත් දේහය ළඟ කඳුළු සලමින් ශෝක වූ අතර සෑහෙන වේලාවක සිටම මළසිරුර අසලටම වී විලාප තබමින් මෘත දේහය බදාගෙන වැළපෙන තවත් කාන්තාවක් ද වූවාය. “ඉස්කෝලෙ හාමිනේගෙන් හොඳට උදව් උපකාර ගත්තු කෙනෙක් වෙන්න ඇති ඔය දරාගන්න බැරුව අඬන්නේ” විලාපය දුටු කවුරුත් එසේ සිතන්නට වූ අතර දූ දරුවන් ද සිතා සිටියේ ‘අපේ අම්මගෙන් ලොකු උදව්වක්. ගත්තු කෙනෙක් වෙන්න ඇති” කියාය.
මෘත දේහය ආදාහනාගාරය වෙත ගෙන යාමට නියමිත වේලාව ද මදක් පසුවී තිබුණි. මෙතෙක් වේලා මළසිරුර බදාගෙන හැඬූ අයගේ අතින් ඒ මේ අතට හැරී තිබුණ මළ සිරුරේ මුහුණ මියගිය කාන්තාවගේ දියණියක විසින් නිසියාකාරව සකස් කළේ ඒ අවස්ථාවේය.
මිනීපෙට්ටියේ අවසන් නින්ද නිදන තම මවගේ දෙකනෙහි ඊට මොහොතකට පෙර තිබූ කරාබු කුට්ටම ඒ වන විට නොතිබුණ බව ඇය දුටුවේ එවිටය.
මළ සිරුරේ කරාබු දෙක නැතිවී ඇති ආරංචියත් සමගම එතනින් පිටවීමට තැත් කරද්දී මෙතෙක් වේලා විලාප තබා මළ සිරුර බඳාගෙන හඬමින් සිටි කාන්තාවගේ ඉනේ ඔතාගෙන තිබූ කුඩා පොදියක් බිමට වැටුණි. මළ සිරුරේ දෙකනෙහි පළඳවා තිබුණ කරාබු කුට්ටම හමුවූයේ කාන්තාවන් තුන් හතර දෙනෙකු එක්වී ඒ වැටුණු පොදිය අහුලා එය ලෙහා බැලීමෙන් පසුවය.
දේහය රැගත් පිරිසක් ආදාහනාගාරය වෙතට ද “කරාබු විලාපය” තැබූ කාන්තාව රැගත් තවත් පිරිසක් පොලිසිය වෙත ද ගියේ අවමංගල පෙරහර දිගේය.
Comments
Post a Comment