සැමියා ඉතා සැර පරුෂ අයෙකු වු අතර බිරිඳ ඉතාමත් ඉවසිලිවන්ත කාරුණික කන්තාවක වූවාය.
යමක් කමක් ඇති පවුලක කාන්තාවක් වූ ඇය සමග විවාහවී පැමිණියේ කපුවෙකු ගෙන ආ යෝජනාවකින් සැලකිය යුතු දායාදයක් ද සමගිනි. මවු පියන්ගේ සෙවනේ හැදී වැඩී මවුපියන්ට ද කීකරු දියණියක වූ ඇය සැමියාට ද දෙවියන්ට මෙන් සැලකුවාය.
ඇය සිය සැමියාට මෙහෙවර කළේ මෙහෙකාරියක් විදිහට සියලුම දේ අතට පයට දෙමිනි. කොපමණ සැමියාට සැලකුව ද ඔහු කෑම රස නෑ කියමින් පිළිවෙළක් නෑ කියමින් කුමක් හෝ වැරැද්දක් කියමින් ඇයට අඩන්තේට්ටම් කළේය.
කෑම බීම ඇඳුම පැළඳුම බේත් හේත් වගේම බුලත් විට කෑමට පවා අඩු වැඩිය ළඟට දෙන ඇයට කුමක් හෝ වැරැද්දක් හොයමින් බැණ වැදුණේ පුරුද්දට මෙනි. දරුවන්ට ද මේ ගෝරනාඩු අසා පියා නිවසේ සිටින විට නිවස ප්‍රියජනක තැනක් නොවුණි. එවිට ඔවුහු පොතක් පතක් බැලීම පවා පසක තබා මුළුතැන්ගේ වැඩවල යෙදුනහ. නැතිනම් පියාට නොපෙනෙන තැනක සැඟවී සිටීමට වගබලා ගත්හ. දරුවන්ට ද පියාගේ මේ ක්‍රියාකලාපය එපා වී තිබිණි.
කුඩා කල ඔවුන්ට ද දඬුවම් කිරීමට වේවැල වහලෙ ගසා තිබීම නිසා දරුවෝ වැරදි නොකරන්නට පුරුදු වී සිටියහ. කෑම රස නැති දිනවලට බත් පිඟන් උඩින් පියාඹා යන්නේ බිරිඳගේ විලාපය මැදය. වළඳ පිඟාන පවා පොලවේ ගසමින් වට්ටි පැදුරු පවා පුළුස්සා දැමුවේ බිරිඳ සමග රංඩුවක් අල්ලාගෙනය. බිරිඳ කරන හොඳ දේවල් පවා ඔහු දුටුවේ වැරදියටය.
පුරුෂාධිපත්‍යය ඉහළටම හිතට ගත් ඔහු දිනක් බිරිඳ සමග කලහ කරමින් තමාට තිබූ පුංචි කඩයට විකුණන්නට ගෙනා වළන් ගොන්නකට උදැල්ලෙන් පහර දී බිඳ දැමුවේය. ඒ වෙලාවේ පැමිණි ගැමියකු මොකක් වෙලාද වළං බිඳුණාදැයි ඇසීය. ඔහුගේ පිළිතුර වූයේ වළං උඩට කොටයක් වැටී බිඳුණු බවයි.
සැමියාගේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙකු සිටිය ද ඒ කිසිවකුට මොහුට මෙන් සැරපරුෂ ගති පිහිටා නොතිබිණි. දිනක් ඔහුගේ නැගණියක් සිය නිවසට ආවේ දුර බැහැර ප්‍රදේශයක සිටය. ඇය පැමිණි දින ද ඔහු සිය බිරිඳට අවලාද කියමින් බනිමින් සිටි අතර සිය නැගණිය සමග මෙසේ පැවසීය. මම මේ ගෑණිත් එක්ක පවුල් කනවට මට සම්මානයක් දෙන්න ඕනෑ. ඉන්පසු ඔහුගේ නැගණිය පැවසුවේ අක්කට සම්මානයක් දෙන්න වටිනවා අයියත් එක්ක පවුල් කනවට යනුවෙනි.
ඇගේ කතාවෙන් ඔහුට තරු විසිවුන ද කලකින් සිය නිවසට පැමිණි නැගණියට මුවින් නොබැන සිටියේය
Comments
Post a Comment