කොරෝනා ආක්‍රමණය නොවුණු අති දුෂ්කර ගමකි. කොරෝනාවලට එරෙහිව තවදුරටත් වැට බැඳීමට ගමේ විහාරස්ථානයේ නායක හිමියන් ඇතුළු තරුණ පිරිසට අවශ්‍ය විය. මේ නිසාම ඔවුහු කොරෝනා මර්දන කෙටි චිත්‍රපටියක් ගමේ විහාරස්ථානයේ එළිමහනේ පෙන්වීමට කටයුතු කළහ. ඒ සෞඛ්‍ය අංශවල නිර්දේශ ලබාගෙනය.
කොරෝනා නිසා කාලයකින් ගමේ සිටින සිය පෙම්වතිය හමුවීමට බැරිව සිටි පෙම්වතෙකුට චිත්‍රපටිය නරඹන්නට එන ලෙස සිය පෙම්වතියට එස්.එම්.එස්. පණිවිඩයක් යැව්වේය. එම පණිවිඩය සක්‍රීය විය.
කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය පෙන්වන දිනය උදාවිය. එය රාත්‍රියේ පෙන්වීමට සංවිධායකයෝ කටයුතු කළහ.
රෑ බෝ වනවිට ගමේ බොහෝ දෙනෙක් චිත්‍රපටිය නැරඹීමට පන්සලට පැමිණියහ. පෙම්වතා දැනුම්දුන් පරිදි පෙම්වතිය සිටියේ සෙනග මැද සිය මව සමඟය. ඇයත් පෙම්වතාත් සිටියේ එක පැත්තේය. තරුණයාගේ බැල්ම හොඳ නැති නිසාම සිය දියණිය සිටි පැත්ත වෙනස් කිරීමට ඇගේ අම්මා කටයුතු කළාය. ඒ ඇයගේ බලවත් විරෝධය මධ්‍යයේය.
කොරෝනා නිසා චීනයේ මිනිසුන් මහ පාරේදීම මැරී වැටෙන අයුරු චිත්‍රපටියේ පෙන්වමින් සිටියේය. කාගේත් ඇස් තිබුණේ ඒ දෙසටය. පෙම්වතාගේද ඇස් තිබුණේ ඒ දෙසටය. නමුත් ඔහු එක් කකුලක් දිගු කළේ සිය පෙම්වතිය කලින් සිටි පැත්තටය. ඒ ඇයගේ කකුල උඩට සිය කකුල තබා ගැනීමටය.
මොකද ළමයෝ මේ කරන්නේ, මට ඔය ළමයටත් වඩා වැඩිමහල් පුතෙක් ඉන්නවා යයි පෙම්වතියගේ මව කීවේ ඔහුගේ ඉහමොළ රත් කරවමිනි. වැඩේ වැරදුණු බව තේරුණු ඔහු එතැනින් හෙමිහිට ලිස්සා ගියේ ‘ලව් ඉලව්’ වන බව පවසමිනි.
පසුදා ඔහුගේ පෙම්වතිය සිය මිතුරියන් පිරිසක් හමුවූ අවස්ථාවේදී කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය නැරඹීමට ගිය අවස්ථාවේදී පෙම්වතාට වූ මේ ඇබැද්දිය කීවේ බඩ අල්ලාගෙන සිනාසෙමිනි.
Comments
Post a Comment