බොහොම හොඳයි ඔහොම එනවා නම් නිකන් උනත් බයික් එක හදල දෙන්න බැරි යැයි සිතු මොටර් කාර්මිකයා තමා පැමිණි කාරණය බිරිඳට කීය. බිරිඳ නිවසේ සිටි සැමියා කැඳවිය. පැත්තක තිබූ යතුරු පැදිය පෙන්විය. පැයක් යන්නට මත්තෙන් යතුරු පැදිය පණගන්වා “ඕවා මට මහ වැඩ නොවේ” කියා උජාරුවෙන් කීවේ හිමිකරුගේ බිරිඳට ද ඇසෙන්නටය.
හිමිකරුටද ඒ පිළිබදව පැහැදීමක් ඇතිවූ අතර අවුරුද්දට ගෙනා මත්පැන් බෝතලයක් ඉතිරිව ඇති නිසා ‘‘බාස් උන්නැහැ කටගැස්මට ටිකක් ගන්නවා’’ දැයි විමසීය. ‘‘ගමු,ගමු’’ කියා සෙට්වූ දෙදෙනා බෝතලය අවසන්වන වන විට පදමට වෙරිවී හොඳ මිතුරෝ බවට පත්ව සිටියහ. කාර්මිකයාගේ කතා බහෙන් වැඩි කොටසක් හිමිකරුගේ රූමත් බිරිඳ පිළිබඳවමය.
මුදල්ද එපා කී කාර්මිකයා නැවතත් දිනෙක එන බව පවසා පිටත් වන්නට සූදානම්ව නිවසේ පෙනෙන්නට නොසිටි බිරිඳ පිළිබඳව විමසීය. ඇය පහළ දොළට නාන්න ගිය බව දැනගත් කාර්මිකයා දොළ අයින දිගේ වැටී ඇති මාර්ගය ඔස්සේ වෙරි මතින් යතුරු පැදිය පැදවූයේ මිතුරාගේ බිරිඳ දැක ගැනීමේ ආසාවෙනි. අහක බලන් ගිය නිසා යතුරු පැදිය පාරෙන් ඉවතට පැන ඔහුත් සමගම දොළට පෙරළුණි. දඩිබිඩිගා නැගිට ගත් ඔහු යතුරු පැදිය දොළ මැද කෙළින් කළත් ගොඩට ගැනීමට තනිවම නොහැකි විය.
දිය නාමින් සිටි බිරිඳ මේ බව නොදත් නිසා බඩ ගාගෙන පාරට පැමිණි කාර්මිකයා ගෙදර ගියේය. දිය නෑම අවසන් කළ බිරිඳ යතුරු පැදියක් දොළ මැද තිබෙනු දැක බියට පත්ව දිව ගොස් සැමියාට පැවසීය.
අනේ බාස් උන්නැහැ යනුවෙන් පැවසූ සැමියා අසල්වාසීන්ගේද සහය ඇතිව දොළ අවට සෝදිසි කර බැලුවත් බාස් උන්නැහැ පෙනෙන්නට නොසිටි නිසා ඔහුගේ දුරකථනයට ඇමතුක් ගත්තේය.
බාස් උන්නැහැ ඉන්නවා දැන් නාගෙන ඇවිත් කාමරේ නිදි, ඇයි හදිසියක්ද, බාස් උන්නැහැගේ බිරිඳ ඇසුවාය. නෑ.නෑ දැන් හදිසියක් නැහැ. යතුරු පැදියක් දොළේ තියනවා. ඒකයි හෙව්වේ. හිමිකරු කීය. සවස් යාමයේ දෙතුන් දෙනෙකු සමග පැමිණි බාස් උන්නැහැගේ බිරිඳ යතුරු පැදිය රැගෙන යනු දක්නට ලැබිණි.
(සුමති කුඩලිගම)
Comments
Post a Comment