මෙදින සරණපාල ස්ටෝර්ස් එකේ කාන්තාවෝ කීප දෙනෙක් බඩු ගැනීමට පැමිණ සිටියහ. මුදලාලි " කට කනේ" දාගෙන විහිළු කරමින් ඔවුන්ට අවශ්‍ය දෑ දෙමින් සිටියේය.
මුදලාලි හාමිනේ හෙමින් සීරුවේ කඩයට පැමිණියේ පිටුපස පැත්තෙන් නිසා ඒ ගැන කවුරුත් දැන නොසිටියහ.
" අනේ සරණයියේ මගේ බඩු බිල ඉවර කරන්නකෝ. මොනාද අප්පා මාව යවන්නකෝ මං ගැන ඔයාට දුක නැද්ද " යනුවෙන් ගමේ කටකාර කාන්තාවක් වූ ශ්‍රියානි අඟර දඟර පාමින් කීවාය.
එයට ප්‍රතිචාර දක්වමින් " හරි හරි චුට්ටක් පරක්කු වුණාම මොකෝ ශ්‍රියෝ" කියමින් සරණපාල මුදලාලි ශ්‍රියානිගේ පිටට තට්ටුවක්ද දැම්මේය. මේ සියල්ල පිටුපස කාමරේ සිට අහගෙන සිටි මුදලාලි හාමිනේ කේන්තියෙන් වෙව්ලන්නට වුයේ දත්මිටි කමිනි.
මෙම විහිළුව නොරිස්සු එතැන සිටි වෙනත් කාන්තාවක් කරවල රාක්කයේ ලියා තිබුණු බෝඩ් ලෑල්ලක් අතට අරගෙන " මූ කුකුළා, මූ කුකුළා, මූ කුකුළා' යැයි කියවන්නට වුවාය.
කාන්තාවන් සියලු දෙනාම කොක් හඬලා සිනාසෙන්නට වූයෙන් මුදලාලි හාමිනේට මළ පැන්නාය. කොස්ස අතට ගත් හාමිනේ කවුද යකෝ කුකුළා කියමින් එතැනට කඩා පැන්නාය.
ගැහැනුන්ගේ කටවල්වලට අගුල් වැටුණි. " මූ කුකුළා " බෝඩ් ලෑල්ල බිම තැබූ කාන්තාව වාෂ්ප වූවාය. මුදලාලි හාමිනේ කරවල රක්කයේ තිබූ '' මුහුදු කුකුළා '' හැඳින්වීමට ලියා තැබූ බෝඩ් එක දැක ඇය ද හනික නොපෙනී ගියාය. කඩේ සිටි ලලනාවන් ඔහුට පිටුපා නිතඹ සොලවමින් යන ලතාව දෙස බලා සිටි සරණපාල දිග සුසුමක් පිට කරමින් ‘කවුද යකෝ කුකුළා ' යැයි තමාගෙන්ම අසා ගත්තේය.
හේමන්ත රණසූරිය
Comments
Post a Comment