gossiplanka image 1
 


බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ බාල වර්ගයේදී, අවබෝධයෙන් තොර පුද්ගලයා හෙවත් 'බාලයා' හඳුනාගැනීම සඳහා ලක්ෂණ දෙකක් පැහැදිලි කර දී ඇත. ඉන් පළමු ලක්ෂණය නම්, තමන් අතින් සිදුවන "වරද" එය "වරදක්" ලෙස දැකීමට ඔහුට ඇති නොහැකියාවයි. දෙවන ලක්ෂණය වන්නේ, යම් හෙයකින් වෙනත් පුද්ගලයකු විසින් එම "වරද" පෙන්වා දුනද, එය තේරුම් ගැනීමට හෝ පිළිගැනීමට හෝ බාලයාට ඇති නොහැකියාවයි. යම් පුද්ගලයකු මෙම ලක්ෂණ ද්විත්වයෙන් යුක්ත නම්, බුදු දහමට අනුව ඔහු 'බාල' ගණයට වැටේ.


මෙම 'බාල' ස්වභාවයට හෙවත් වරද වරදක් ලෙස තේරුම් ගැනීමට නොහැකි වීමට බලපාන මූලික අභ්‍යන්තර හේතු පවතී. ඉන් පළමුවැන්න අධික තෘෂ්ණාව හෙවත් ඡන්දයෙන් අගතියට යාමයි. මෙම චෛතසිකය නිසා මනස මුසපත් වන අතර, තෘෂ්ණාවට වහල් වූ පුද්ගලයාට තමන් කරන ක්‍රියාව අයහපත්, නීති විරෝධී හෝ සමාජ විරෝධී එකක් ලෙස වටහා ගැනීමට හැකියාවක් නොලැබේ. ඔහුගේ එකම අරමුණ තෘෂ්ණාව මුල් කරගත් ඉලක්කය ජය ගැනීම පමණක් වන බැවින්, ඊට අදාළ සදාචාරාත්මක සීමාවන්, නීත්‍යානුකූල බාධක හෝ පරලොව විපාක පිළිබඳව සිතීමට ඔහු උනන්දු නොවේ. ධම්ම පදයේ සඳහන් වන පරිදි, බාලයාට තමන් කරන පව එය විපාක දෙන තුරු මී පැණි මෙන් මිහිරි ලෙස දැනෙන්නේ මෙම තෘෂ්ණාව විසින් නිර්මාණය කරන මෝහය නිසාය.


වරද හඳුනා ගැනීමට නොහැකි වීමට බලපාන දෙවන ප්‍රබල චෛතසිකය 'මානය' හෙවත් මාන්නයයි. මෙය තමන් අන් අයට වඩා අඩු යැයි සිතන 'හීන මානය', අන් අයට වඩා උසස් යැයි සිතන 'සෙයිය මානය' හෝ අන් අයට සමාන යැයි සිතන 'සදිසි මානය' ලෙස ස්වරූප කිහිපයකින් පැවතිය හැක. යහපත් අරමුණු (උදා: රහත් වීමට සිතීම) සඳහා මෙම සිතිවිලි යෙදිය හැකි වුවද, ධනය, බලය හෝ ගෝත්‍රය වැනි ලෞකික දෑ මුල් කරගෙන මාන්නාධික වූ විට, තමන් කරන ක්‍රියාවන්හි ඇති පාපී සහගත බව හෝ සාපරාධී බව හඳුනා ගැනීමට නොහැකි වේ. මාන්නයෙන් යුතු පුද්ගලයා සිතන්නේ තමන් අන් අයට වඩා උසස් බැවින් නීති හෝ සදාචාරය තමන්ට අදාළ නොවන බවයි. මේ හේතුවෙන් ඔහු අඛණ්ඩව වැරදි සිදු කරයි.


බාලයා වරද වරදක් ලෙස නොදකින තෙවන කාරණය නම්, ඔහු දැඩිව එළඹ සිටින 'දෘෂ්ටීන්' හෙවත් මතවාදයි. යම් යම් අන්තවාදී නිගමන මත පිහිටා සිටීම නිසා ඔහුට දූරදර්ශීව යථාර්ථය දැකීමේ හැකියාව අහිමි වේ. විශේෂයෙන්ම කර්මය හා කර්ම ඵල, පරලොව, සතර අපාය හෝ සදිව්‍ය ලෝක පිළිනොගන්නා මිථ්‍යා දෘෂ්ටියක පිහිටා කටයුතු කරන පුද්ගලයකුට, 'පව' යන්න 'පවක්' ලෙස හඳුනාගත නොහැකිය. ඔහු දරා සිටින මතවාදය විසින්ම ඔහුගේ වැරදි ක්‍රියා සාධාරණීකරණය කරනු ලබන බැවින්, අන් අය විසින් වරද පෙන්වා දුන්නද ඔහු එය පිළිනොගනී.


අවබෝධය කරා ළඟා විය හැක්කේ මෙම 'බාල භාවයට' හේතු වන මූලික සාධක හඳුනාගෙන ඒවායින් මිදීමට උත්සාහ කිරීමෙනි. යම් පුද්ගලයකුට තමන් තුළ ක්‍රියාත්මක වන තෘෂ්ණාව, මාන්නය සහ අන්තවාදී දෘෂ්ටීන් යන මෙම චෛතසික ධර්මයන් යම් මට්ටමකට හෝ පාලනය කර ගැනීමටත්, ඒවායින් ගැලවීමටත් හැකි නම්, ඔහුට හෝ ඇයට 'බාල භාවය' ඉක්මවා 'පණ්ඩිත භාවය' කරා හෙවත් යථාර්ථය අවබෝධ කිරීමේ මාර්ගය වෙත ගමන් කිරීමට අවස්ථාව උදා වේ.