gossiplanka image 1
 


බුදුපියාණන් වහන්සේ මුණ ගැසුන ආලවක යක්ෂයා උන්වහන්සේගෙන් ඉතා ම වැදගත් ප්‍රශ්න කිහිපයක් විචාරනු ලැබූ බවට "ආලවක සූත්‍ර යේ සඳහන් වේ. ආලවක යනු, යක්ෂයෙක් ද නැතහොත් යක්ෂ ගෝත්‍රය නියෝජනය කරනු ලැබූ ඉතා ම බුද්ධිමත් පුද්ගලයෙක් ද යන්න ආලවක විචාරනු ලැබූ ප්‍රශ්න දෙස බැලීමේ දී ප්‍රශ්නාර්ථයක් ද මතු නොවනවා ම නොවේ. යම්කිසි ආකාරයක දාමරික ජීවිතයක් ඔහු ගෙවා විය හැකි වුව ද, බුද්ධිමත් අයෙකු නොවූවා නම් එවැනි ආකාරයේ ප්‍රශ්න විචාරීමක් කළ නොහැකි යි.  "කිං සුධවිද්ධං පුරිසස්ස සෙට්ඨං පුද්ගලයකුට හම්බ කළහැකි වටිනාම ධනය කුමක් ද? යන ප්‍රශ්නය ඇසීමට ආලවක යක්ෂයා කෙතරම් බුද්ධිමත් විය යුතු ද?


ද්වේෂ චරිත බුද්ධ චරිත බවට පත්වන බවත්, රාග චරිතය  ශ්‍රද්ධා චරිත බවට පත්වන බවත්, මෝහ චරිත විතරක චරිත බවට  පත්වන බවත් විසුද්ධි මාර්ගයෙහි සඳහන් වෙයි. රාග චරිතයාගේ ස්වභාවය ඇලීම වැඩි වීමයි. ඇලීම වැඩි පුද්ගලයා තුනුරුවන් වෙත ඇලෙන විට එය ශ්‍රද්ධාව මිස රාගය නොවේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රී සද්ධර්මය පිළිබඳව, උතුම් මහා සංඝ රත්නය පිළිබඳව ඇතිවන ඇලීම ශ්‍රද්ධාව යි. රාගය නොමැති පුද්ගලයන් තුළ ශ්‍රද්ධාව  නොවැඩෙයි. රාගය අඩු, ද්වේෂය බහුල චරිත තුළ ශ්‍රද්ධාව අඩු වේ.  කාන්තාව සාපේක්ෂව ශ්‍රද්ධාව වැඩි චරිත වන අතර, පිරිමි ශ්‍රද්ධාව අඩු චරිත බව සාපේක්ෂව සිතිය හැකියි. පිරිමියාගේ මනස රළු නිසා තක කරමින් එම කාරණාව පිළිබඳව සිතමින් ගැටීම පිරිමින්ගේ  ස්වභාවය වුව ද, පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ මනස මෘදු ස්වභාවයක් ගනී. එම නිසා ම, පිරිමින්ට සාපේක්‍ෂව කාන්තාව තුළ ශ්‍රද්ධාව බහුල වෙයි.


ඇලීම වැඩි කාන්තාව පමණක් බව ඒ තුළින් අදහස් නො කරයි. පිරිමියාට සාපේක්ෂව ගැහැනිය එකිනෙකාට ඇලීම වැඩි වේ. දරුවන් කෙරෙහි දැඩි ඇලීමක් ඇති වන්නේ ද කාන්තාව තුළයි. ගෙදරක යම්කිසි භාණ්ඩයක් කැඩී බිඳී ගිය විට එය පිරිමියාට වඩා සාපේක්ෂව වැඩියෙන් ගැහැනියට දැනෙයි. සාපේක්ෂව පිරිමියාට වඩා ගැහැනිය ඥාති සබඳතා ද පවත්වයි. ඇලීම යම්කිසි ආකාරයක මානසික ස්වභාවයක් වේ. ඇලීම වැඩි වීම තුළින් උපදින ශ්‍රද්ධාව නිසා නිවන් මගට පිවිසීමේ දොරටුව විවර වෙයි. ඇලීම අයහපත් පැත්තට ගමන් කළ හොත් ඒ තුළ අභිජන්ඩාව හට ගනී. අභිජඣාව යනු විෂම ලෝභය වන අතර ඇලීම වැඩි පුද්ගලයා අන්සතු දේ සඳහා ඇලීමක් ඇතිකර ගතහොත් කාම මිථ්‍යාචාරය, හොරකම, බොරුකීම. ප්‍රාණඝාතය සිදු කරයි. එය යහපත් ද, අයහපත් ද යන්න තීරණය වනු ලබන්නේ ඇලීම කුමක් සඳහා ද යන්න තෝරා ගැනීම තුළ ය. අයහපත් දේට ඇලීමක් ඇති වූ විට ඔහු හෝ ඇය අපායගාමි වෙයි. බුදුරජාණන් වහන්සේ වෙත ශ්‍රී සද්ධර්මය වෙත, මහ සගරුවන වෙත, ඇලීමෙන් ඔහු තුළ ශ්‍රද්ධාව වර්ධනය වීමෙන් බුද්ධිය අවධි වී ඥානය වර්ධනය වී කෙලෙස් අඩු වී යයි.


රාගය යහපත් වගේ ම රාගයේ අයහපත් පැති ද ඇති බව අප තේරුම් ගත යුතුයි. රාගය යහපත් නිසා ශ්‍රද්ධාව උපදී, රාගය අයහපත් නිසා ම අභිජඣාව හෙවත් විෂම ලෝභය උපදියි. සෑම චෛතසිකයකම යහපත් හා අයහපත් ස්වභාවයන් දෙක ම පවතින නිසා එය මුලින්ම උදුරා දැමිය යුතු බවත්, ඒ සඳහා කෙලෙස් ප්‍රහීණ කළ යුතු බවත් බුදුපියාණන් වහන්සේ වදාළ සේක. රාගය නිසා පින් කරන්නා සේ ම, රාගය නිසා පව් කිරීමට ද පෙළඹෙයි. පුඤ්ඤ පාප පහීණස්ස පිනයි, පවයි දෙක ම දුරු කළ තැනැත්තා රාගය ඉක්මවනු ලැබුවා වූ රහතන් වහන්සේ යි. රහතන් වහන්සේ හොඳ හා නරක ඉක්මවා ඇති බැවින්, උන්වහන්සේ පව් කරනු නොලබයි. දරුවන්ට හොඳට උගන්වමින්, දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත කරමින් දරුවන්ට ආහාර පාන සපයා දෙමින්, දරුවන් රෝගී වූ විට බේත් හේත් පොවමින්, දරුවන් ආරක්ෂා කිරිම රාගය තුළ පවතින යහපත් පැති වේ.  දරුවන්ට තිබෙන ඇලීම නිසා දරුවන් ජනප්‍රිය යැයි සැළකෙන  උසස් පාසලකට ඇතුළත් කර ගැනීමේ චේතනාවෙන් අසත්‍ය ආකාරයෙන් ව්‍යාජ උප්පැන්න හැදීම රාගය තුළ පවතින අයහපත් බවයි. රාගය යහපත් වගේ ම, රාගය අයහපත් බව අප අවබෝධ කොට ගත යුතුයි. මෙම චෛතසිකයන් තුළ යහපත වගේ අයහපතත් පවතින නිසා ම එම චෛතසිකයන් ප්‍රහීණ කළ යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාළ සේක.


ද්වේෂ චරිතවල ස්වභාවය සාපේක්‍ෂව ගැටීම බහුල වීම යි. ආලවක යක්ෂයා ද ද්වේෂ සහගත චරිත ස්වභාවයක් පෙන්නුම් කරයි.  ද්වේෂ සහගත චරිත ස්වභාවයක් ඇති පුද්ගලයන්, කායිකව ගැටීමක් ඇතිකර ගනු ලබන්නේ මානසික ගැටීමක් පවතින නිසයි. සාමාන්‍ය ජීවිතය තුළ පිරිමින් ප්‍රශ්න හමුවේ ගැටී ගැටී යන ස්වභාවයක්  පෙන්නුම් කළත්, කාන්තාව ඒ සඳහා කල් ඉන්න අයයමින් ඉන්නා ස්වභාවයක් පෙන්නුම් කරයි. ආලවක යනු එවැනි ද්වේෂ සහගත චරිතයක් බැවින් ඔහු බුද්ධිමත් චරිත ස්වභාවයක් පෙන්නුම් කරයි. යම් දෙයක් කියූ ආකාරයට ම පිළිනොගෙන ඒ පිළිබඳව සිතමින් ඒ හා ගැටී ගැටී ප්‍රශ්න අසමින් තක කරමින් සත්‍යය සොයා යාම ද්වේෂ සහගත චරිතවල ස්වභාවය වේ. ආලවක ද්වේෂ චරිතයක් නිසා ම බුදු පියාණන් වහන්සේ  මුණ ගැසුණ විගස ම උන්වහන්සේ සමග ගැටීමක් ඇති කර ගත්ත ද එයින් ජයගත නොහැකි බව වටහාගත් ආලවක බුද්ධියෙන් තම සටන මෙහෙයවනු ලැබීය.


තමාගේ ජයග්‍රහණය ලැබීමට ගන්න තීරණයේ දී ආලවක පළමුවෙන්ම කිං සුධ චිත්තං පුරිසස්ස සෙට්ඨං යනුවෙන් බුදුපියාණන් වහන්සේන්ගෙන් විමසා සිටියහ. එවිට සද්දධ චිත්තං පුරිසස සෙට්ඨං යනුවෙන් බුදුපියාණන් වහන්සේ පිළිතුරු දෙනු ලැබුවේ ශ්‍රද්ධාව  පුද්ගලයකු සතු වූ ශ්‍රේෂ්ඨතම ධනය ලෙසයි. ද්වේෂ චරිතයක් වූ ආලවකටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ පූර්ණ අවබෝධය අවශ්‍ය නම්, ඔහු තුළ ශ්‍රද්ධාව ගොඩනගා ගත යුතු බවයි. ඇතැම් කාරණා වටහා ගැනීම සඳහා තිබෙන එක ම ක්‍රමය ශ්‍රද්ධාව යි.


උදාහරණ වශයෙන් සතර අපායෙන් තිරිසන් අපාය හැර, අනෙකුත් අපායවල් වටහා ගැනීමට නම්, ශ්‍රද්ධාව තිබිය යුතුයි. නිරි සතුන් පිළිබඳව ප්‍රකාශ කළ ද බුදුපියාණන් වහන්සේ පිළිබඳව පවතින විශ්වාසය මත එම කාරණා මනසට ගොඩ නැගුණත්, බුදුපියාණන් වහන්සේ පිළිබඳව අප තුළ සැකයක් පවතී නම්, එය පිළිනොගනී. ප්‍රේතයන්, අසුරයන් පිළිබඳව කරුණු සඳහන් කරනු ලැබුවත්, ශ්‍රද්ධාව නොමැති අයෙකුට ප්‍රේත ලෝක, අසුර ලෝක, නිරය පිළිබඳව අවබෝධයක් ඇති නොවේ. බුදු දහමේ තිබෙන කාරණා අනුව, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සතර අපාය අවබෝධ වීමටත්, කරන කර්මවල විපාක එන බව අවබෝධ වීමටත්, ශ්‍රද්ධාව තිබිය යුතු ම යි. අයහපත් ක්‍රියාවකට අයහපත් විපාක ලැබුණ හොත් අප පෙර කරනු ලැබුවා වූ අයහපත් ක්‍රියාව ඉතා ඉක්මනින් අපගේ මනසට නැගෙයි. එම විශ්වාසය අපගේ මනස තුළ ගොඩනැගෙන්නේ ම බුදුපියාණන් වහන්සේ පිළිබඳව තිබෙන්නා වූ විශ්වාසය නිසා ම යි. බුදුරජාණන් වහන්සේ ධර්මයඅපට නො තිබුණා නම්, තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අප තුළනොතිබුණා නම්, තමන් පෙර කරනු ලැබුවා වූ අයහපත් ක්‍රියාවක ප්‍රතිඵල තමන් කරා පැමිණ ඇති බවට කිසි ලෙසකින් වත් පිළිනොගනී.


ඒ තුළ විශ්වාසය ගොඩනැගෙන්නේ ම ශ්‍රද්ධාව තිබේ නම් පමණි. ශ්‍රද්ධාව නොමැතිව නිවන් මාර්ගයට පිවිසීමට අපහසු බව ඔබ වටහා ගත යුතුය. බුදුපියාණන් වහන්සේන්ගේ උතුම් ලොව්තුරා බුද්ධත්වය පිළිබඳ අල්පමාත්‍ර හෝ සැකයක් හටගනු ලැබුව හොත් ඒ මොහොතේ පටන් අප නිවන් මගින් බැහැර වූවන් වෙයි. බුදුපියාණන් වහන්සේ පළමුවෙන් සද්ධා ධනං යනුවෙන් සෘජුව ම ආලවකට දේශනා කරනු ලැබුවේ ද ශ්‍රද්ධාව නමැති ධනය උපදවා ගත යුතු බවයි. සාමාන්‍ය ගෘහ ජීවිතයකට වුවත්, විශ්වාසය නමැති ධනය තිබිය යුතුයි. විශ්වාසය නැති වූ විට ගෙදරක සැමියාට බිරිඳ පිළිබඳව, බිරිඳට සැමියා පිළිබඳව, අම්මාට, තාත්තාට දරුවන් පිළිබඳව, දරුවන්ට අම්මා තාත්තා පිළිබඳව, නැන්දම්මාට ල්ලිය පිළිබඳව, යට නැන්දම්මා පිළිබඳව විශ්වාසය නොමැති වූ විට එම ගෙදර ඉදිරිය කරා ගමන් කිරීම නවතී. චෝදනා කරගැනීම් හා ගැටුම් නිර්මාණය වීම ඒ ගෙදර තුළ ගොඩනැගෙයි.


ශ්‍රද්ධාව නොමැති තැන සමගිය නිර්මාණය වන්නේ නැත. එකමුතුකම නොමැති නිසා මෙම තීන්දු තීරණ ගනිද්දී ඉතා ම දුෂ්කර තත්වයක් නිර්මාණය වෙයි. ගෙදරක සාර්ථකත්වයට තිබිය යුතු ප්‍රධාන ම දේ ශ්‍රද්ධාව යි. ආවාහ විවාහ කටයුතු කිරීමේදීත් සම ශ්‍රද්ධා තිබෙනවා ද? යන්න බැලිය යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබුවේ ද ඒ හේතුව නිසා ම යි. දෙපාර්ශ්වය තුළ ම විශ්වාසය එක සමාන විය යුතු යි. තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති පුද්ගලයා තුළ හැදියාව සදාචාරය සංවරකම ගොඩනැගීමෙන් වංචාව, කපටිකම, තෘෂ්ණාව, මසුරුකම මර්දනය වෙයි. බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබූ ශ්‍රද්ධාව වෙනුවට වර්තමාන විවාහ කටයුතු තුළ සොයා බලනු ලබන්නේ වෙනත් කරුණු කාරණා යි. ගෙදරකට අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව මිස මුදල් නොවෙයි. මුදල් යනු දෙවන කාරණාව යි. මානසික කාරණාව හෙවත් අධ්‍යාත්මික කාරණාව ශ්‍රද්ධාව මිස මිල මුදල් නොවෙයි.


1815ට පෙර සිංහල ජාතිය සඳහා විවාහ සහතික නොතිබුණත් එම විවාහ පැවතුණේ ශ්‍රද්ධාව මතයි. කුල කුමාරිකාවන්, කුල කුමාරවරුන්, විවාහ වන තෙක් බ්‍රහ්මචාරීව ජීවත් වන බවත්, විවාහ වූවාට පසු පරදාර සේවනයට හෝ පරපුරුෂ සේවනයට යන්නේ නොයන බවත් ධර්මය තුළින් විශ්වාසයක් ගොඩනැගෙයි. දරුවන් පිරිසුදුව හදා වඩා ගැනීමේ කාර්යයේ දී උභය පාර්ශ්වය ම ඒ සඳහා වගකිව යුතු අතර එවැනි ආකාරයෙන් හැදුණු වැඩුණු කුල සමග විවාහ වීමට කිසිම බියක් පැවතුණේ ද නැත. ශ්‍රද්ධාවෙන් ජීවත් වනවා නම්. විවාහ සහතික අවශ්‍ය වන්නේ ද නැත. එම නීතිමය ලියැවිල්ල දික්කසාද වීමේදී තමාට හිමි විය යුතු නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මිස, ජීවත් වීමට අවශ්‍ය වටිනා ලියවිල්ලක් නොවෙයි. වර්තමාන විවාහ ජීවිත තුළ ප්‍රශ්න බහුල වීමත් සමග විවාහ සහතිකය ඉදිරියට ඇදෙන වාර ප්‍රමාණය වැඩි වෙමින් පවතී. කාන්තාව  හා පුරුෂයා ඔහු හෝ ඇය සමග මැරෙන තුරා එක ම වහලක් යට ජීවත් වනවා යන විශ්වාසය අතීතය තුළ ගොඩනැගී පැවතුණේ බුදු දහමෙන් වර්ධනය වී තිබූ ශ්‍රද්ධාව නිසයි. බුදු දහමෙන් උපදවන ලැබූ ශ්‍රද්ධාව මත ගොඩනැගුණු ගිහිකම වර්තමානය තුළ නීතියෙන් රැක ගැනීමටවත් නොහැකි වෙයි. දික්කසාද ප්‍රමාණය වැඩි නිසා ම  විවාහ සහතිකයට ලොකු බලයක් ලැබුණත්, පවුල් සංස්ථාව දරුවන් දෙදෙනෙකුට සීමාවෙයි. ශ්‍රද්ධාවට බලය පැවරී තිබුණ පවුල් සංස්ථාව තුළ ළමා ළපටින් දහය ඉක්මවා යන පරිසරයක් නිර්මාණය තිබූ බවද සිහියට ගත යුතුයි.

තුනුරුවන් පිළිබඳව පවතින ශ්‍රද්ධාවට වඩා සැකය පවතින නිසා ම වර්තමානය තුළ මිනිසුන් මාර්ගඵල ලබන්නේ ද නැත. සම්මා ආජීව, සම්මා වාචා, සම්මා කම්මන්ත සමග දියුණු වීමට නොහැකි බවට ඇතැම් මිනිසුන් තුළ විශ්වාසයක් ගොඩනැගී පවතී. කුමන හෝ පුද්ගලයකු යම් මට්ටමකට දියුණු වී සිටින විට එය දකින අනෙකුත් පුද්ගලයන් ඒ පිළිබඳව විවේචනය කරයි. හොඳ නිවසක් වටිනා වාහනයක් පාවිච්චි කරනවා දකින විට එය සාධාරණ ආකාරයෙන් උපයන ලද ඒවා නොවන බවට ඇතැම් පිරිස් ප්‍රකාශ කිරීමට පෙළඹෙයි. සම්මා ආජීවයෙන් කිසිලෙසකින්වත් දියුණු වීමට බැරි බවට වර්තමානය තුළ අදහසක් ගොඩනැගෙමින් පවතී. ඔහු හෝ ඇය යහපත් නම්, දියුණු නැත. දියුණු නම් යහපත් නැත එය වර්තමාන සමාජය කන පනතින ශ්‍රද්ධාව යි. මෙම රට තුළ උදාවෙමින් පවතින්නේ ඉතා රහසික තත්වයක්.


අසවල් මාමලා ගංජා විකුණලා දියුණු වූ බවත්, අසවල් නැන්දා කුඩු විකුණා ජීවත් වූ බවත් ගෙදර තුළ දී අම්මා ප්‍රකාශ කරන අවස්ථා දරුවන්ගේ කනට ඇසෙයි. බහුතරයක් සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ ම යහපත් වැඩ තුළින් නොවන බව දරුවා තුළ අදහසක් ගොඩ නැගෙයි. එවැනි පරිසරයක් පිළිබඳව කතා කරන අම්මලාම දරුවන් ඉගෙන ගත යුතු බව ප්‍රකාශ කළ ද දෙමාපියන් විසින් දරුවන් උභතෝකෝටිකයක් මැද තනිකරයි. දියුණුවෙන මාර්ගය වෙන මගක් බව ප්‍රකාශ කරන අම්මා දරුවන්ට ඉගෙන ගත යුතු බව ද ප්‍රකාශ කරයි. අපගේ ජාතිය දියුණු වීම සඳහා කෙටි මාර්ග සොයා යාමට පුරුදු වී සිටී. සම්මා ආජීවයෙන් වීර්යයෙන් අඛණ්ඩව නිවැරදිව ජීවත් වීමෙන් ලබන ජයග්‍රහණය පිළිබඳව විශ්වාසයක් නැත. අවුරුදු විසිපහ වන විට ගෙවල් දොරවල් ගොඩනගා අවසන් කළ යුතු බවත්, වාහනයක් ගත යුතු බවත් යන සංකල්ප අපගේ මනසට ලබාදෙයි. විශ්වාසයෙන් විවාහ වන දෙදෙනා ක්‍රමයෙන් දියුණුව කරා ගමන් කිරීෂ්ම ක්‍රමවේදයක් පැවතුන ද වර්තමානය තුළ එය ප්‍රතික්ෂේප්ප කිරීම මෙම විනාශය ට මූලික හේතුවක් වී ඇත.


අපට අවශ්‍ය වන්නේ ආලවකට දේශනා කරනු ලැබූ ද්ධාව ම යි. ශ්‍රද්ධාවන්තයා මුදල් හම්බ කිරිම සඳහා යොදාගනු ලබන්නේ සම්මා ආජීවය යි. මුදල් රැකගැනීම සඳහා යොදාගනු ලබන්නේ සම්මා වාචා මිස, මිච්ඡා වාචා නොවෙයි. සම්මා කම්මන්ත මිස, මිච්ඡා කම්මන්ත පාවිච්චි කරන්නේ නැත. ගිහිකමට අදාළ වන දියුණුව සොයාගැනීමටත්, නිවන් දැකීමටත් ශ්‍රද්ධා ධනය තිබිය යුතුයි. ශ්‍රද්ධාව හම්බකරගත යුතු ශ්‍රේෂ්ඨම ධනය බව තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ආලවකට දේශනා කරනු ලැබුවේ ද ඒ හේතු නිසා ම බව ඔබ මූලිකව ම අවබෝධ කරගත යුතුයි.  කසීභාරද්වාජ සූත්‍රයේ දී බුදුපියාණන් වහන්සේ වදාරනු  ලබන්නේ නිර්වාණය අස්වැන්න නම්, පැළ කළ යුතු බීජය ශ්‍රද්ධාව බවයි. සද්ධා බීජං ශ්‍රද්ධාව නමැති බීජ වපුරන්නේ නැතිව, නිර්වාණය නමැති අස්වන්න ලබාගත නොහැකී. ඔබ තුළ නිවැරැදි ශ්‍රද්ධාව ඇති කර ගත යුතුයි. බුදුපියාණන් වහන්සේ පිළිබඳව ධර්මය පිළිබඳව, මහ සඟරුවන පිළිබඳව කර්මය පිළිබඳව කර්ම ඵලය පිළිබඳව ඔබ තුළ සැකයක් ඉපදීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ පිළිබඳව සැකයක් උපදිනවාය යනු ඔබගේ ජීවන ක්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් වීමකට භාජනය වීම යි.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ බවට අප තුළ විශ්වාසයක් නැතිනම්, අප රහසින්වත් පව් නොකර ඉඳීමට කිසිදු උනන්දුවක් ඇතිකර ගනී ද? උන්වහන්සේ සැනසිල්ලේ ජීවිතය ගත කරනු ලැබුවේ රහසින්වත් පව් නොකළ නිසා බවට ඔබ විශ්වාස කරන හැම මොහොතකම ඔබගේ ජීවිතයේ රහස් වැඩ ක්‍රමයෙන් අඩු වී යයි. බුදුන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බවට සැක හැර ඔබ තුළ විශ්වාසයක් ගොඩනැගීමෙන් පමණක් එම සැනසිල්ල ඔබට ළගාකර ගත හැකි යි. එනිසා ඔබේ පදනම විය යුත්තේ ද ශ්‍රද්ධාව යි. ඔබ හම්බ කළ යුතු ශ්‍රේෂ්ඨතම ධනය ද ශ්‍රද්ධාව ම යි.