gossiplanka image 1
 


සැකය හෙවත් විචිකිච්ඡාව නමැති මනෝභාවය පිළිබඳව අප තුළ අවබෝධයක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව, සැකය හෙවත් විචිකිච්ඡාව මෝහ මූලික වූ මානසික පසුබිමක්. පළමු මාර්ගය වන සෝතාපන්න තත්වයට පත්වීමේදී පුද්ගලයකු තුළ සැකය ප්‍රහීණ වන බව ධර්මයෙහි සඳහන් වේ. සක්කායදිට්ඨිය, විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාස යන මූලික මනෝභාවයන් තුනක් ම ප්‍රහීණ වී යයි.යම්කිසි පුද්ගලයකුගේ මනසෙහි මෝහය පවතින තාක්කල් ඔහුගේ හෝ ඇයගේ මනස තුළ සැකය හෙවත් විචිකිච්ඡාව පැවතිය හැකි බවට නිගමනය කළ හැකියි. සැකය හෙවත් විචිකිච්ඡාව සත්වයාගේ අධ්‍යාත්මික ප්‍රගමනයට බාධාකාරී වෙයි. එය පුද්ගලයාගේ ලෞකික ජයග්‍රහණවලට ද විශාල බාධකයක් බව ගෘහස්ත සමාජය මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමු කිරිමේන් අපට වටහා ගතහැකියි.


ගෘහ ජීවිතය ගත කරන දෙමව්පියන්ට දූ දරුවන් පිළිබඳව, දූ දරුවන්ට දෙමාපියන් පිළිබඳව ද, බිරින්දෑවරුන්ට සැමියන් පිළිබඳව, සැමියන්ට තම බිරින්දෑවරුන් පිළිබඳව ද, අසල්වාසීන් පිළිබඳව ද, ඥාතීන් පිළිබඳව ද වරින් වර සැකය නම් වූ මනෝභාවය උපදින අයුරු වශයෙන් ඒ මත පදනම්ව ගනු ලබන තීරණ තුළින් ඔවුන්ගේ ජීවිත විශාල අධ්‍යාත්මික අර්බුදවලට භෞතික අර්බුදවලට ගමන් කරන අයුරු දැකගත හැකියි.බුදුරජාණන් වහන්සේන්ගේ ධර්මයෙහි මෝහ සිත පිළිබඳව පෙන්වා දෙයි. මෝහ මූලික මනෝභාවය අපගේ මනස තුළ ප්‍රබල වන විට අප විසින් එළඹ සිටි අදහස මත පදනම්ව අනෙකුත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් අනෙකුත් පුද්ගලයන්ගේ හැසිරිම් නිගමනය කිරිමට අපව පොළඹවනු ලබයි.


වර්තමාන මනෝ විද්‍යාව එවැනි තත්වයන් බින්නෝන්නවාදී රෝගී ස්වභාවක් ලෙස පෙන්වා දෙයි. එනම්, යම්කිසි අයකුගේ සාමාන්‍ය හැසිරීම් පිළිබඳව ඉතා ම පටු නිගමනවලට පැමිණීමට යම්කිසිවකුගේ මනස එළඹීමයි. රාජකාරියකට අදාළ කාරණාවක් යම් ස්ත්‍රියක් හෝ යම් පුරුෂයෙක් සාකච්ඡා කරමින් සිටින අවස්ථාවක එය දුර සිට ස්ත්‍රීයගේ විවාහක සැමියා හෝ පුරුෂයාගේ විවාහක බිරිඳ ඔවුන් තුළ නොමනා සම්බන්ධකමක් ඇති බවට මනස තුළ සැකයක් පහළ කර ගැනීම නිදසුනක් ලෙස දැක්විය හැකියි. මෙය බින්නෝන්නවාදයේ ප්‍රතිඵලයක් වන අතර, එනම් දුර තියා දකින්නට ලැබෙන දේ පිළිබඳව තමන් විසින් නිගමනවලට පැමිණීමයි. ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් තොරව, තමන් විසින් ගොඩනගාගනු ලබන චිත්ත රූප ඔස්සේ සංකල්ප ලෝකය තුළ නිගමනවලට පැමිණීම මෙම මානසික රෝගී තත්වයේ ප්‍රබල ම ලක්ෂණයකි. වර්තමානය වන විට අප රටවාසී බොහෝ පිරිසක් ඔවුන් නොදැනීම මෙම රෝගී තත්වයෙන් පෙළීම ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් ඉතා ම අවාසනාවන්ත තත්වයක්.


පුද්ගලයකු බින්නෝන්මාදය යන රෝගී තත්වයක් කරා රැගෙන යාමට මෝහය අනිවාර්යය හේතු සාධකයක් වෙයි. යම් පුද්ගලයකු මෙම තත්වයට පත්වන්නේ ඇයි? මෝහයෙන් මුළාවී, සැකයෙන් මුසපත් වී ගෙවන ජීවිතයකට යම් කෙනකු ඇදවැටෙන්නේ ඇයි? දැඩි ආශාවන්ගෙන් පෙළෙන්නන් ද එම  තත්ත්වය කරා ගමන් කරයි.


 සෑම මොහොතකම අනෙකා මතම තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නට සිතන පුද්ගලයාට අදාළ පුද්ගලයා නැතිව ගිය විට තමන්ට කිසිවක් කර කියා ගන්නට නොහැකි බවට කල්පනා කරයි. ස්වාධීනත්වය පිළිබඳව කිසිදු ආකාරයක මනෝභාවයක් ගොඩනගා ගැනීමට නොහැකියාවෙන් සිටින පිරිස් අනෙකා මත දැඩි ලෙස ඇලීම නිසා තමාට අහිමි වේ යැයි යන බිය තුළ බින්නෝන්මාදී තත්වයක් විචිකිච්ඡා සහගත හැසිරීමක් ඇති කර ගනී. චෛතසික මත පදනම්ව ගනු ලබන තීන්දු අපට බොහෝ විට දැකගත හැකියි. එනිසා ඔබගේ මනස මෙම තත්වයෙන් ගලවා ගැනීමට නම්, විචිකිච්ඡාව මත පදනම්ව ගනු ලබන තීරණවලින් යම්කිසි දුරකට හෝ ඔබ නිදහස් විය යුතු යි. පුද්ගලයන්ට හෝ යම් යම් දේවලට දැඩි ලෙස ඇලීමෙන් අප වැළකිය යුතුයි. දැඩි ඇලීම අප මුසපත් කරනු ලබයි. එම මුසපත්භාවය අපව මෝහයට පත්කරයි. මෝහය අප තුළ සැකය විචිකිච්ඡාව උපදවන ලබ අප පළමුවෙන්ම වටහාගත යුතු කාරණාවකි.


යම් යම් පුද්ගලයන් සහ යම් යම් දේ පිළිබඳව වරින් වර අප මනස තුළ ඇති වන ගැටුම නිසාවෙන් අපත් නොදැනීම අප ඔවුන් සැක කිරීමට පටන් ගනු ලබයි. ඔවුන් කෙරෙහි සැකයෙන් බැලීය. ඔබගේ ජීවිතය තුළ ඔබ අකමැති පුද්ගලයන් හමුවිය හැකියි. අකමැති පුද්ගලයන් හෝ අකමැති පිරිස් සමග ඔබට වැඩ කිරීමට සිදුවිය හැකියි. එම අකැමැත්ත දැඩි ගැටුමක් දක්වා පරිවර්තනය වන තත්වයට ගෙන නොයාමට ඔබ වගබලා ගත යුතුයි. ගැටුම විසින් ඔබව බින්නෝන්මාදී තත්ත්වය තත්වයට පත් කරනු ලබයි. ඔවුන් වෙනත් අයකු සමග යම්කිසි වැදගත් කාරණාවක් සාකච්ඡා කරමින් සිටින මොහොතකදී පවා ඔබ පිළිබඳව කතා බහ කරනවා යැයි ඔබට සිතිය හැකියි. ඔවුන් යම් කිසි දිසාවක් බලාගෙන සිටින විට, ඔබ පිළිබඳව ඔබ පෙන්වමින් කතා කරනවා යැයි ඔබට සැක සිතෙන්නට පුළුවන.


මෙවැනි සැකයක් මත පදනම්ව ඔබ ගනු ලබන තීරණ ඔබගේ ජීවිතයටත් අනෙකුත් පිරිසකගේ ජීවිතවලටත් විශාල බලපෑමක් එල්ලකරනු ලබයි. බුදුපියාණන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, මහා සංඝරත්නය පිළිබඳව, සීලය පිළිබඳව, පෙර ආත්මය පිළිබඳව, නැවත උපදිනවා යැයි කියන පසුභවය පිළිබඳව, පෙර සහ පසු යන ස්වභාවයන් දෙක ම පිළිබඳව සහ අවසාන වශයෙන් පටිච්ච සමුප්පාදය පිළිබඳව යන බුද්ධාදි අට තැන පිළිබඳව සැකය තිබෙන තාක්කල් ධර්ම මාර්ගයෙහි වේගවත්ව පුහුණුවක් ලැබීමට හැකි වන්නේ නැති බව බෞද්ධයන් වන අප අවබෝධ කරගත යුතුයි.  ඔබගේ ගෘහස්ත ජීවිතය තුළත්, සමාජ සම්බන්ධකම් තුළත් ඔබ තුළ පැන නගින සැකය යන මනෝභාවය විසින් ඔබ ලෞකික ජීවිතයේ ජයග්‍රහණය කරා යාමට තිබෙන අවකාශය නැතිකර දමයි. අනෙකා සැක කිරීම නිසා අපගේ කාර්යක්ෂම බව අඩු වී යයි. ඔවුන් පිළිබඳව විශ්වාසයක් නොමැති වෙයි. ඒ ගනු ලබන නිගමන ක්‍රියාවට නැවීමට යාමේදී නැවත වතාවක් අප පසුබට වීමට පටන් ගනී.  ඔබගේ ලෞකික ජයග්‍රහණවලටත් හානිකරන, අධ්‍යාත්මික ජයග්‍රහණවලටත් හානිකරන විචිකිච්ඡාව හෙවත් සැකය නිෂ්පාදනය කරන මෝහයෙන් අපගේ මනස ගලවා ගැනීමට අප සෑම මොහොතකම යෝනිසෝ මනසිකාරයෙන්, සිහිනුවණින්, එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කළ යුතු බවට ඔබ අවධාරණය කරගත යුතු