
සිල්වත්ව ජීවත්වීමට උත්සාහ දරන අපට එම සිල්වත් බව ආරක්ෂා කර ගැනීමට නොහැකි වන ආකාරයේ චෛතසිකයන්හි බාධාවන් පවතී. ආයය විනයට හා ආර්යය ධර්මයට අනුව සංවරකමේ අර්ථය ලෙස දක්වා ඇත්තේ සාමාන්‍ය සම්මුති ලෝකය තුළ පවතින සංවරකම නොවේ. කලබලකාරි බවෙන් ඝෝෂා කිරිමෙන් තොරව, ගැටලුකාරී ස්වභාවයෙන් තොරව, සන්සුන්ව කටයුතු කිරීම කායික හා වාචසික සංවරය ලෙස සම්මුති ලෝකය අදහස් කරයි. ප්‍රාණඝාත ආදී කායික වැරැදිවලිනුත් මුසාවාදා යන වාචසිකව වැරැදිවලිනුත් සම්පූර්ණයෙන් ම ඉවත්ව එයින් මිදී ආයය ධර්මය තුළ හෙවත් ආර්යය විනය තුළ පවතින සංවරකම යි. එකී සංවරකම ගොඩනගා ගැනීමට පවතින බාධාවන් මොනවා ද? අප කෙතරම් සිල් සමාදන් වුවත් එය ආරක්ෂා කර ගැනීම අති දුෂ්කර කාර්යයක් වෙයි. පවතින බාධාවන් හඳුනාගෙන එයින් මිදී ආරක්ෂක්ෂාවීමට දරන උත්සාහවන්තකම ප්‍රමාණවත් නොවීම එයට හේතුව යි.
මිනිසුන් තුළ පවතින අප්‍රමාණ තෘෂ්ණාව විසින් පුද්ගලයා සැම අංශයකින් ම අධි පරිභෝජන රටාවකට අනුකූලව කටයුතු කිරිමට හුරුකරනු ලබයි. ඇඳුම් පැළඳුම්, ආභරණ, යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩම් කඩම් ආදී දේ තුළ අධි පරිභෝජනයට හුරුකර තිබෙන්නේ මිනිසුන් තුළ තිබෙන්නා වූ නිමාවක් නොදකින තෘෂ්ණාව යි. අධි පරිභෝජනයට තෘෂ්ණාව විසින් මිනිසුන් පෙළඹවීමේ ප්‍රතිඵලයක් ලෙස දෙනිකව බහුභාණ්ඩිකව ජීවත්වීම සඳහා බොහෝ බඩු බාහිරාදිය රැස්කරනු ලබයි. තමාගේ ජීවිතයේ සාර්ථකත්වය ලෙස බහු භාණ්ඩිකවීම සලකනු ලබයි. අධි පරිභෝජනය හෙවත් බහුභාණ්ඩිකකම තුළ ජීවිතයේ සතුට සොයන පිරිසට ධර්මානුකූල ක්‍රමවේද තුළින්, නීත්‍යානුකුල ක්‍රමවේද තුළින්, සුචරිතයට සම්බන්ධ ක්‍රමවේද තුළින් දුශ්චරිතයෙන් මිඳුණු ක්‍රමවේද තුළින්, කොපමණ කාලයක් බහු භාණ්ඩිකකම පවත්වාගෙන යයි ද? බඩු බාහිරාදිය ආහාරපාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන සඳහා තෘෂ්ණාවෙන් මුසපත් වෙන්න වෙන්න අප නොදැනීම අණන සුඛය ගිලිහී ගොස් ණයකාරයෙකු බවට පත් වෙයි.
අසීමාන්තික තෘෂ්ණාවකින් මනස ඇලෙද්දී තමා සතුකර ගැනීම හෙවත් අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම තුළ ණය වීමට සිදුවෙයි. ණය අධික කමින් ගෙවීමේ ක්‍රමයට හසුවීම නිසා ඇතිවන මානසික අසහනය හෙවත් මානසික පීඩාව නිවැරදි වූත්, ඉතාම නීත්‍යනුකූල වූත්, මිනිසුන්. නීත්‍යනුකූල නොවන ක්‍රියාවන් වලට පොළඹවන ලබයි. මිනිසුන් පන්සිල් ගන ලබන සෑම මොහොතක ම ඉතා ම කැමැත්තෙන් පන්සිල් සමාදන් වෙයි. බෞද්ධයන් වන ඔවුන් පන්සිල් ආරක්ෂා කිරීමට ද රුචිකත්වයක් දක්වයි. ප්‍රසිද්ධියේ හෝ රහසින් පන්සිල් බිදීම පාපයක් බව ඔවුන් දන්නා කාරණාවක් වුවත්, මිනිසුන් තෝරාගෙන තිබෙන ජීවන ක්‍රමය ඔවුන්ට සිල්වත්ව ජීවත්වීමේ පරිසරයක් උදානොකරයි. ඔවුන් තෝරාගනු ලබන්නා වූ ජීවිතය සරල විය යුතුයි. නඩත්තු කළ හැකි ප්‍රමාණයට බඩු බාහිරාදිය ළගාකර ගැනීමෙන් පංචශීලය ආරක්ෂාකර ගැනීමට ඔබට පහසුවක් වේවි. ඔබ තෝරා ගැනීමට යාමේ දී කල්පනාකාරී යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක නොවුණ හොත්, ඔබ නොදැනීම තෘෂ්ණාවට ආශක්ත වීම නිසා ම ඔබගේ තෝරාගැනීම විශාල ණයකාරයකු බවටත්, වංචාකාරයකු බවටත් පත්කරයි.
මිනිසුන් තෝරාගෙන තිබෙන්නා වූ ජීවිතය සත්‍ය ප්‍රකාශ කර පහසුවෙන් ජීවත්විය නොහැකි නිසා ම ඔහු බොරුකාරයකු, වංචාකාරයකු බවට පත් කරයි. ඔබගේ ජීවිතය තුළ සැමවිට ම තෝරා ගැනීමේ දී අවශ්‍යතා සහ ආශාවන් වෙන් වෙන් වශයෙන් හඳුනාගත යුතුයි. ආශාවන් සහ අවශ්‍යතාවන් හඳුනා ගත නොහැකි පුද්ගයන්ට මේ භවය තුළ පංචශීලය ආරක්ෂක්ෂා කළ නොහැකියි. ආශාව හා අවශ්‍යතාව වර්ග දෙකක් බව අවබෝධ කර ගැනීමට ඔබ බුද්ධිමත්ව, ඥාණය උපදවාගත හොත් වීර්යය වන්ත වුවහොත්, නිවැරැදි ජීවිතයක් කරා යොමුවීමට ඔබට හැකි වෙයි. ඔබගේ අරමුණු ඔබගේ චෛතසික ස්වභාවය තුළ මෙය නිවැරැදි කරගත යුතු බව ඔබ අවබෝධ කරගත යුතුයි.
මීට පෙර ජීවත් වූ මිනිසුන්ට තෝරාගැනීමේ ගැටලුවකට මුහුණපාන්නට සිදුනොවුණේ භාණ්ඩ හා සේවා විශාල වශයෙන් නොතිබුණු නිසයි. එම භාණ්ඩ හා සේවා අපට අවශ්‍ය වන බවට දැඩි ලෙස ඒත්තු ගන්වන දැන්වීම් කරණයක් තිබුණේ ද නැත. දැඩි ලෝලත්වයෙන් යුක්ත තෘණා චෛතසිකය විසින් මිනිසුන් ප්‍රචාරණ ක්‍රියාවලියට හසු කරයි. අපගේ මනස බාහිරින් අසංවර කරන බාහිර අරමුණු එක පිට එක එල්ලවෙමින් පවතින නිසා ම අපගේ චෛතසිකයන් ද දැඩි ලෙස වියරු වැටෙයි. අප තුළ සර්පයන් ජීවත් වුවත් එම සර්පයන් අවදි කරන්නට තරම් ශක්ති සම්පන්න අසංවර කමක් එදා සමාජය තුළින් ගොඩනැගී නොතිබුණත් වර්තමානය වන විට ආශා සහ අවශ්‍යතා හඳුනා ගැනීමට මිනිසුන්ට දුෂ්කර කාර්යයක් වෙයි. රාගයෙන් මුසපත් වුණ පරිසරයක් තුළ දෙවිවරු ජීවත්වන නිසා දෙවිවරුන්ට ද එම අවස්ථාව ඇතැම් විට ගිලිහි යයි. මිනිස් ලෝකය, දිව්‍ය ලෝකය තරම් රාගයෙන් මුසපත් වූ ස්ථානයක් නොවන බවත් තේරුම් ගත යුතුයි. දිව්‍ය ලෝකය තුළ ජීවත්වන සියලු දෙවිවරුන් ධර්මය නොදන්නා බව එයින් නොහැගේ. මිනිස් ලොව නිරය තරම් ද්වේෂයෙන් මුසපත් වූ ස්ථානයක් නොවෙයි. එම ස්ථානදෙකට ම සාපේක්ෂව මධ්‍යස්ථ ස්ථානයක් මිනිස් ලොව තුළ පවතී. මිනිසුන්ට අවශ්‍යතා හා ආසා හඳුනාගැනීම සඳහා අවකාශය ගොඩනැගී තිබෙන්නේ මෙවැනි පරිසරයක් තුළයි. දිව්‍ය ලෝකය තරම් රාගික නොවීමත් නිසා තෝරාගැනීම ද පහසු වෙයි.
ඔබගේ ගෙදරට, ඔබගේ ජීවිතයට තෝරාගනු ලබන පුද්ගලයන්, දේවල් ඔබගේ අවශ්‍යතා සහ ඔබට කටයුතු කළ හැකි සීමාව මත තෝරා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි. තමන්ට ලැබෙන ආදායම පිළිබඳව අවබෝධයකින් තොරව, වෙළෙඳ ප්‍රචාරණවලට ලොල් වී වඩාත් වියදම් ලැයිස්තුවක් ඔබ තෝරාගත හොත්, ඔබට පන්සිල් ආරක්ෂා කිරිමට නොලැබේ. විවාහය තුළ තෝරාගනු ලබන වැරැදි චරිත නිසා ම ඇතැම් අය නිත්‍යානුකූල නොවන ආකාරයට මුදල් හම්බ කිරීමට පෙළඹී දුසිල්වත් චරිත බවට පත් වෙයි. පඩියට අමතරව එවැනි මුදල් ප්‍රමාණයක් මාසිකව එකතු කිරීමට නොහැකි වුවහොත්, ඔබගේ තෝරාගැනීම ඇතැම් විට ඔබ හොරෙකු හෝ ඔබ බොරුකාරයකු කරයි. ඔබ කාමමිථ්‍යාචාරය දක්වා ගමන් කරවීමට මාර්ගය කපා දෙයි.
ගත් ණය පියවීමට ක්‍රමයක් නැතිව ගිය හොත් ණය හිමියා කාමාශක්ත වූවෙකු නම්, ඔහු කාන්තාවකට තවදුරටත් සිල්වත්ව සිටීමේ අවස්ථාව අහිමිකර දමයි. බොහෝ විට ජීවිතය පුරා ම සිල්වත්ව ජීවත් වූ ඇතැම් අය තමාගේ ශරීරය විකුණන තැනට පෙළඹි ඇත්තේ තෝරාගැනීම නිසයි. ගිහි බෞද්ධ පිරිස තමාගේ තෝරාගැනීම සම්බන්ධව ඉතාම ප්‍රවේශම් විය යුතුයි. තෝරාගැනීමේදී බහු භාණ්ඩික කමට තිබෙන ලෝලත්වයෙන් නිදහස්ව ඔබගේ අවශ්‍යතා නිවැරැදිව හඳුනා ගැනීමට හැකියාව ලැබුණහොත්, තෘෂ්ණාව පාලනය කරගෙන පන්සිල් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පරිසරය උදාවෙයි. සොරකම් කිරීමට පෙළඹෙනුයේ අවශ්‍යතාවලට වඩා අනුන්ගේ දේට තිබෙන ආශාව නිසයි. අනුන්ට අයිති දෙයක් තමාට ලබාගැනීම හෝ තමාට අයත් නොවන වැරැදි දෙයක් තමා සතුව තබා ගැනීම සඳහා බොරු කීමට පෙළඹෙයි. ඔබ තුළ පවතින්නා වූ තහව ඔබ කෙතරම් දුරට පාලනය කරනවා ද? යන කාරණාව මත ඔබගේ පන්සිල් ආරක්ෂා කිරීමේ ප්‍රමාණය රැඳී පවතී.
ඔබ අධි පරිභෝජනයෙන් වැළකීම යනු, අරපිරිමැස්ම යන කාරණාව මිස කුම්මැහිකම නොවන බව අවබෝධ කරගත යුතුයි. බහු භාණ්ඩිකකමෙන් වැළකීම යනු, අල්පේච්ඡා තත්වය මිස, තෘෂ්ණාව නොවන බව ද තේරුම් ගත යුතුයි. අරපිරිමැස්මේ මුවාවෙන් ඔබ තුළ තෘෂ්ණාව ගොඩනැගිය හැකියි. ආරක්ඛ සම්පදා ලෙස දැඩි ලෝභය ඔබ තුළ ගොඩනැගිය හැකියි. අප විසින් ඉවත් කළ යුතු අනවශ්‍ය බඩු බාහිරාදිය ඉවත් නොකර තබා එය අරපිරිමැස්ම ලෙස අර්ථකතනය කිරීම ඉතා වැරැදියි. මසුරුකම අරපිරිමැස්ම ලෙස තේරුම් නොගත යුතුයි. අරපිරිමැස්ම තුළ අවශ්‍ය අවස්ථාවන් වලදී කළ යුතු වියදම නිර්ලෝභීව කළ යුතුයි. අනවශ්‍ය සැරසිලිවලට වියදම් නොකර, අවශ්‍ය කාරණාව සඳහා වියදම් කළ යුතුයි. අනවශ්‍ය සැරසිලි සඳහා වියදම් කිරීම නාස්තියක් වෙයි. අවශ්‍ය කාරණාවට වියදම් නොකර සිටීම මසුරුකම වෙයි.විවාහ උත්සවයක්, කුඩා දරුවකුගේ උත්සවයක්, ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කිරීමක් තුළ ඊට අදාළ කාර්යයන්ට වඩා වැඩිපුර දෙයක් කළ යුතු බවට බෞද්ධයන් කල්පනා කරයි. මගුල් ගෙදරකට, මළගෙදරකට පසුව විශාල ණය කන්දකට යටවී ඇත්තේ අනුන්ට පෙනෙන්න අනවශ්‍ය වියදම් කිරීමට පෙළඹීම නිසයි. ණය බරින් පීඩා විඳින පිරිස නීති ගරුක නොවන චර්යාවන්ට යොමුවීම වැළැක්විය නොහැකි බව වටහා ගත යුතුයි.
චෛතසිකයන් ලෙස අප තුළ පවතින මාන්නය සිල් රැක ගැනීමට බාධාවක් වෙයි. වර්තමාන සමාජය තුළ තෘෂ්ණාවට වඩා මාන්නය ප්‍රබල ගැටලුවක් වී පවතියි. මිනිසුන් කෙතරම් මාන්නාධික කිවහොත්, අනෙකුත් අයට වඩා උඩින් සිටීමට දැවැන්ත ලෙස දාන මාන ද ලබා දෙයි. ඒ තුළ "දීම" යන චෛතසිකයට වඩා මතුවීම යන මාන්නය පවතී. නිහතමානී වීම දුෂ්කර කාර්යයක් වුවත්, අනතිමානි විය හැකියි. දැඩි මාන්නයකින් මනස පුරවාගෙන යම් යම් තෝරාගැනීම් තීරණය ගැනීම් වෙනුවට එම මාන්නය සැළකිය යුතු මට්ටමකට හෝ අඩුකරගෙන දේවල් තීරණය කරනවා නම්, අපට මෙයට වඩා සිත් විය හැකිය. ලෝකයේ මිනිසුන් තුළ පන්ති අරගල ආරම්භ වී මිනිසුන් මැරිය යුතුය යන ස්ථාවරයට මිනිසුන්ගේ චෛතසිකය වර්ධනය වූයේ ද, එක පිරිසක් දිගු කාලීනව අඛණ්ඩව මාන්නයෙන් ක්‍රියා කරද්දී තව පිරිසකට එම පීඩාව තුළ වෛරයක් හටගැනීම නිසයි. අධිමාන්තයත්, හීනමානයත් යන මානයන් දෙක ම දුරුකරමින් නිහතමානී වුවහොත් එකිනෙකා මරාගැනීම හා එකිනෙකාගේ දේපළ නාස්තිකර ගැනීම නවතා සිල් රකින පරිසරයක් උදාකරගත හැකිය.
පිළිගත්ත, මතවාද, දර්ශන තුළ සදාකාලික පැවැත්මක් පවතිනවාය යන විශ්වාසය නිසා මිනිසුන් පංච දුශ්චරිතයට බිය නැතිව කටයුතු කරයි. බොහෝ දෙනා දුසිරිත්වලට පෙළඹෙනුයේ වැරැදි දෘෂ්ටි හේතු කොට ගෙනයි. මෙලොව, පරලොවක් නැත. මව, පියා මැරුවාට පවක් නැත. යන වැරැදි දර්ශනවලට මිනිසුන් එළඹෙන්නේ මිනිසුන් කඩු කිනිසි වැනි ඉතා ම භයානක වාක්‍ය අනෙකාගේ ජීවිතයට එල්ල කිරීම තුළ යි. වැරැදි පිළිගැනීම්. වැරැදි මතවාද, වැරැදි දෘෂ්ටි මිනිසුන් පව් කාරයන් කරනු ලබයි. මේ ලෝකය තුළ ඔබ අප හැම කෙනෙක් ම ළඟ තිබෙන එම චෛතසික නිසා සිල්වත් විය නොහැකි බව ඔබ අවබෝධ කරගත යුතුයි. ඇතැම් ආගමික දෘෂ්ටින් විසින් හෝ දේශපාලනික දෘෂ්ටින් විසින්, මනසට ඇතුළු කර තිබෙන්නාවූ වැරැදි අදහස් නිසා හතුරා අතින් මිය යාමට හෝ සතුරා අතින් පරාජය ලබා ජීවත්වනවාට වඩා දිවි තොර කර ගැනීම හොඳ බවට සිතයි. යටත් වෙනවාට වඩා දිවි තොරකර ගැනීම හොඳ බව ඔවුන් තුළ පවතින දෘෂ්ටිය යි. ඇතැම් දෘෂ්ටීන් අනෙකා නැසීමට අවි එසවීමට තරම් පෙළඹ වීම් කරනු ලබයි. තෘෂ්ණාව, මානය, දිට්ඨි නැති කර ගත යුතු බව බුදු දහම යෝජනා කර ඇත්තේ ද එම නිසයි.
Comments
Post a Comment