
ඒ ඒ කාලවකවානුවල ජීවත්ව සිටියදී රටේ සුබ සිද්ධියට ගෝචර වන අන්දමින් හෝ පරිහානියට ලක්වන අයුරින් හෝ පාලකයන් ගනු ලබන පාලන ක්‍රියා ප්‍රතිපත්ති විවිධාකාර වන්නේය. අපට ඉපැරණි ඉතිහාසයක් උරුමකර දුන් රාජ්‍ය පාලකයන් අතුරින් රටේ උන්නතියට ක්‍රියා කළ ඉහළින් පිළිගත හැකි අයෙකු ලෙස වසභ රජතුමා හැඳින්විය හැකිය. එතුමා ගැන කෙටි විස්තරයක් මෙසේය.. වංශකතා තොරතුරුවලට අනුව වසභ රජතුමාගේ මව පියා පිළිබඳ හරි තොරතුරු අනාවරණය වී නැතත්, මෙතුමා සුභ රජුගේ හමුදා සෙනවියකුගේ බෑනා කෙනකු ලෙස කියැවෙයි. එසේම ලම්බකර්ණ වංශිකයකු බවටද මහාවංශ ග්‍රන්ථය අනාවරණය කරයි. සිතුල්පව්වේ ඇති සෙල් ලිපියකින් වසභ රජුගේ පරපුර ඇරඹෙන්නේ රජ පෙළපතකින් බව පැවසේ. සෙල්ලිපියේ අකුරු වියැකී, අපැහැදිලි නිසා රජ පෙළපතේ මුනුබුරා තිස නොහොත් තිස්ස නම් අයකු බව නිගමනය වී තිබේ. මොහු උප රජෙකි. උප රජුගේ දුවගේ පුත්‍රයාද රජෙකු වූ අතර ඒ රජුගේ දියණිය නකරවතී නම් වූවාය. සෙල්ලිපියේ හැටියට වසහ ඇගේ පුත්‍රයා ලෙස පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. මේ අනුව වසභ රජ පරපුරේ හත්වැනියා මෙතුමා වන අතර, මුත්තා ලෙස වළගම්බා රජු පිළිගැනේ. (ක්‍රි. පූ. 89-77)
යසලාලකතිස්ස රජු මරවා රජ කමට පත්වූ සුභ නමැති දොරටුපාලයා රාජ්‍යත්වය ලැබ සිටින අතරතුර, වසහ රාජ්‍ය බලයට පත්වන වගක් පිළිබඳ අනාවැකියක් ප්‍රසිද්ධ වීමෙන් පසු සුභ රජු කලබල වූයේය. ඒ වන විට සෙන්පතියාගේ නිවසේ වසන තරුණයා පදිංචිව සිටියේය. සුබ රජු විසින් වසහ නමින් සිටින තරුණයන් මණයට පත් කළ යුතු බවට නියෝගයක් පැනවීය. ඒ තම රජ කිරුළ රැකගැනීමේ අරමුණ මතය. වසභ (බෑනා) රජුට භාර දීම සඳහා සෙන්පති තෙමේ (මාමා) ඔහු කැටුව රජමාලිගයට ගියේය. වසභගේ නැන්දා (සෙන්පතිගේ බිරිඳ) රාජාවලියට අනුව "පොත්ථා' ලෙස හඳුන්වයි. මැය තම බෑනාට අනතුරක් කිරීමට කිසිසේත් නොසිතුවාය. පොත්ථා බිරිඳ වසඟ මරණයෙන් මුදාගැනීමට උපායක් යෙදවුවාය. සේනාපති ස්වාමිපුරුෂයා බුලත් විට සැපීමට ගිජු අයෙකි. රජ වාසලට යන ගමනේදී හුණු රහිත බුලත් විටක් සකස් කර බුලත්විට සපන්නේ නම් වඩහට විටක් සපයාදී ඇති බව ඕ තම පුරුෂයාට දැනුම් දුන්නාය. රජ මැදුරට සමීපවෙද්දී සෙනවියාට බුලත් විටක් සැපීමට සිත් ඇතිවී වසභගෙන් විට ඉල්ලා සිටියේය.
සෙනවියා විට ලෙහා බලන විට එහි හුණු නොමැතිවීම නිසා වසභ බෑනා හුණු ගෙන ඒමට යළි නිවසට පිටත් කළේය. නිවසට ගිය විට නැන්දා ඔහුට එරෙහිව ඇති මරණ කුමන්ත්‍රණය හෙළි කරන ලදුව, නිවසින් හා ප්‍රදේශයෙන් තමාට පලා යෑමට කටයුතු සැලැස්වූවාය.
වසභ කෙළින්ම මහා විහාරයට ගොස් එහි වාසය කළේය. මෙම මහා විහාරය, වෙනත් දුර බැහැර විහක අය යුතු බවත් අනුරාධපුර මහා විහාරය ලෙස පිළිගත නොහැකි බවටද මතයක් තිබේ. වසභ මරණයෙන් මිදීමට රෝහණයට පලා ගිය බවට මතයක්ද කියැවේ. වසභ තරුණයා රෝහණයේදී වසර 02ක් සේනා සංවිධානය කරමින් සිටියේය. රෝහණයට එන අතරේ කුෂ්ට රෝගයකින් පෙළී සිටි අයකු වසභ රාජ්‍යත්වයට පත්වන වගට සපථ කළේය. සේනා සංවිධානය වඩාත් කාර්යක්ෂම වූයේ එනිසා විය හැකිය. සේනා සංවිධානයෙන් පසු ඔවුන් සමග විත් සුහ රජු හා සටන් කර සුභ මරා දැමීය. සටනේදී තමා මැරවීමට ඔත්තුව දුන් මාමාද මිය ගියේය. අනතුරුව රාජ්‍ය බලයට පත්වූ වසන තම මාමාගේ (සෙන්පතියාගේ) බිරිඳ වූ පොත්පා බිසව බවට පත්කර ගත්තේය.
දේශපාලන ඉතිහාසමය තොරතුරුවලට අනුව වසහ රාජ යුගය වැදගත් වනුයේ ක්‍රි. ව. 65න් ආරම්භ වී ඉදිරියට වර්ෂ 370ක් වූ කාලයක් අනුරාධපුර රජ කිරුළ ලම්බකර්ණ වංශයට යටත්ව තිබීමය. වසවට එරෙහිව සුභ රජුගේ හමුදාව මෙහෙයවූයේද ලම්බකර්ණ වංශිකයෙකු විසිනි. එසේ වුවත් මහා විහාරික තෙරුන් වහන්සේලාගේ අප්‍රමාණ සහාය සහ වසහ විසින්ද උන්වහන්සේලාට දැක්වූ හිතවත් පක්ෂපාතීත්වයද, ලම්භකර්ණ වංශිකයන්ගෙන් වැඩි පිරිසක් වසකට කැමැත්ත පළ කිරීම ද තම ජයග්‍රහණයට හේතු පාදක වූයේය. වසභ රජතුමාට අනුරාධපුර රාජවංශයේ බලය රෝහණ දේශයේ ව්‍යාප්ත කිරීමට හැකිවීමත්, රටට උචිත පරිපාලන ව්‍යුහයක් සකස් කර ඒ අනුව ක්‍රියාත්මක වීමත් නිසා රට තුළ එක්සත් භාවය ආරක්ෂා කර ගැනීමට හැකිවිය. මෙතුමාගේ පාලන බලය යාපනය අර්ධද්වීපයේ උතුරු සීමාව දක්වා ව්‍යාප්තව තිබුණ වගත් වල්ලිපුරම් රන් සන්නසින් පැහැදිලි වෙයි. එම සන්නසින් එළිදැක්වෙන්නේ වසභ රජු නාගදීපය හෙවත් යාපනය (එකල යාපනය නාගදීපය ලෙසින්ද හැඳින්විය) පාලනය කිරිමට ඉසිගිරි නම් අමාත්‍යවරයාට බාරදුන් වගකි. ලංකාවේ වයඹ දිසාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සොයාගත් ගලඋඩ සෙල්ලිපියෙන්ද ගිණිකොණ දිසාවේ රුහුණේ බුත්තල ප්‍රදේශයේ හබැස්ස සෙල්ලිපියෙන්ද රුහුණු ආධිපත්‍යය ගැන කියැවේ. සෙනරත් පරණවිතාන ශූරීන්ට අනුව හබැස්ස සෙල්ලිපියෙන් කියැවෙන "උවජනක" නමැත්තා පසු කාලයේදී අනුරාධපුර රජවූ මහාකල්මනාග රජු බව පැවසේ. වසභ රජතුමාගේ රාජ්‍ය පාලන යුගයේදී කරවන ලද අතිමහත් සේ මෙහෙවරයන් ගැන මහා වංශය, රාජ රත්නාකරය, පූජාවලිය වැනි ග්‍රන්ථයන් කරන විස්තර විසිතුරුය. චමත්කාරය පුදුම සහගතය,මටසිළුටුය. රාජ්‍යත්වයට පැමිණීමෙන් පසු තම යහ සේවාවන් නිසා රටේ සුවිශාල සංවර්ධනයක් සිදු විය. රටේ උන්නතිය උදෙසා තම සේවා කටයුතු දිගටම කරගෙන යෑමට තමාගේ ආයු කාලය පිළිබඳ නැකැත්කරුවන්ගෙන් විමසන ලදුව, ඒ වසර 12ක් බව දැන එය රහසක් ලෙස තබා සිටියේය. ආයු කාලය දීර්ඝ කර ගැනීම උදෙසා සංඝයාවහන්සේලාට උපස්ථාන කටයුතු සහ සංග්‍රහයන් කර මහා පිංකම් කරමින් සංඝයා වහන්සේලාගේ මග පෙන්වීම අනුව කටයුතු කළේය. මෙතුමා සිතුල්පව්වේ ස්ථූප දහයක් නිර්මාණය කර තිබේ.
වල්ලියේ විහාරය, මහා වල්ලිගොත්ත විහාරය, මාගම අනුරාරාමය, මුචෙල විහාරය, ගලම්බතින්ථයෙහි ථූපයේ කංචුකය හා උපෝසථාගාරය, කුම්භිල ගල්ලයෙහි සහ ඉසුරුමුණියෙහි උපෝසථාගාර, මහා විහාරයට අනුබද්ධව පිරිවෙන් කීපයක්, ථූපාරාමගෙය සහ එහි සිව් බුදුවරුන්ගේ ප්‍රතිමා ගෘහය වැනි ආගමික කාර්යයන් කරවන ලදී. පොස්ථා බිසව විසින්ද ථූපයක් හා ථුපඝරයක් කරවීමේදී ඊටද රජු සහාය දැක්වීය. ශාසනික සේවා මගින් පමණක්ම සෑහීමට පත් නොවූ වසභ රජතුමා මහජන සුබසෙත සඳහා සංවර්ධන කාර්යයන්හිද යෙදිණි. රටේ කෘෂිකර්මාන්තය දියුණු කරලනු වස් සුවිශේෂ වූ කැපවීමක් කර ඇති බවට කොතෙකුත් සාක්ෂි තිබේ. මෙතුමා මහා පරිමාණයේ වාරිකම ඇති කළේය. මහවිලච්චිය වැව, නොච්චියාගම වැව, මානන්කටිය වැව, මන්නාරම අසල කෝහාලවැව, කාලිවාපී නොහොත් කාලිය වදන වැව, ජාතිවංගන වාපී නොහොත් නොච්චිපොතාන වැව, අග්ගි වඩ්ඩමාන වාපී නොහොත් හබරණ වැව යනාදී වශයෙන් වූ වැව් පමණක් දැනට හඳුනාගෙන තිබේ. මීට අමතරව විශාල ඇළවල් දොළහක් සැකසූ වගද කියැවේ.
මෙම ඇළවල් අතුරින් ලේඛනාරූඪ වී ඇත්තේ අලිසාර නොහොත් ඇළහැර ඇළ පමණි. මෙම ඇළ අඹගේ ඇළහැරට සමීපව වේල්ලක් බැඳ කි. මී. 48 ක් (සැතපුම් 30 ක් පමණ) දුරට ජලය ගලා යෑමට සැලැස්වීය. අඹන්ගඟ වැනි ගංගා හරහා ගලින් වේලි බැදීමේ තාක්ෂණය එකල ප්‍රචලිත වීම පුදුමයකි. එවකට සිටි (ධාතුසේන රජ සමයේ මෙන්) වාරිමාර්ග ශිල්පීන් අනුරාධපුර පොකුණුවලට ජල නළ මාර්ගයෙන් ජලය ලබාගෙන තිබේ. එකල සිංහල වාරිමාර්ග තාක්‍ෂණ ශිල්පීන්ගේ දැනුමේ තරම, නිර්මාණ සැලසුම් වල විශිෂ්ටත්වය පුබුදුවාලයි. වසභ රජතුමාගේ වාරිමාර්ග ක්‍රියාපද්ධති පසුකාලයේදී නුවර වැව, කලාවැව, පදවිය වැනි ප්‍රදේශවල දියුණුවට මඟ පෙන්වීමක්, රුකුලක් විය. වසභ රජතුමා අනුරාධපුර නගරයේ ආරක්ෂාව තර කරනු වස් එහි පැවති ප්‍රාකාරය රියන් දහ අටක් දක්වා උස්සා ඇත. ඒ වන විට දකුණු ඉන්දියාවේ සොළීන් ප්‍රබලව නැගී සිටීම නිසා ඔවුන්ගෙන් ලංකාවට යම් ආක්‍රමණයක් සිදු වුවහොත් නගරයේ ආරක්ෂාවට මෙය උස් කරන ලදැයි මතයක්ද පවතී. නගරයේ සතර දොරටුවල තොරණ, මහා වතුද, උයන් වතු ද සකසා පොකුණුද සකසා පරිසරය අලංකාරය කෙරිණි. පොකුණුවලට ජලය ඇතුල් කරවීමට උමං ජලය (ජල නළ) මාර්ග සකස් කරවා තිබේ. වසර 44ක් තිස්සේ මෙතුමා ආගමික, සංස්කෘතික, සමාජයීය, මෙහෙවරයන්වල යෙදෙමින් රට තුළ සාමය සෞභාග්‍ය උදාකරන ලද ජාතික වීරයකු ලෙස සැලකිය හැකිය. හුදෙක් ඒ එතුමාගේ ප්‍රතිපත්තිගරුක සැලැස්මක් මත පාලන ව්‍යුහයක් අනුගමනය කරමිනි.
Comments
Post a Comment