
පෙර රජ දවස බොහොමයක් රජවරු තම රාජ්‍ය පාලන යුගවලදී බුද්ධාගමට අදාළව ථූප, විහාර යනාදී සිද්ධස්ථාන නිර්මාණය කරමින්ද කලින් ඉදි කර තිබුණ ඒවා පිළිසකර කරමින්. වැඩිදියුණු කරමින්, දේවාලද ඉදිකරමින්, දැහැමින් රට පාලනය කළ වගට වංශකතා, සන්දේශ කාව්‍ය යනාදී ග්‍රන්ථ මගින් එළිදක්වා තිබේ. පූජනීය ස්ථාන වලටද ඇතැම් ආක්‍රමණිකයන්ගෙන් විනාශකාරි සිදුවීම් ඇති කළ බවට තොරතුරු හෙළිවෙයි. ගජබාහු රජුගේ රාජ්‍ය පාලන සමය (ක්‍රි. පූ. 114-136) වසර 22ක් පමණ විය. මහාවංශ කෘතියට අනුව මෙතුමාගේ නම ගජබාහුක ගාමිණී ලෙස දැක්වේ. රුවන්මැලි සෑයට සමීපව සොයාගත් සෙල් ලිපියකින් 'මහරජ ගජබාහු ගාමිණී අභය ලෙසට ගජබාහු යන නම නිර්වචනය කරයි. වෙනත් සෙල්ලිපි මගින් ගජබාහු ගජබා යනුවෙන්ද දැක්වේ. සෝමාවතී විහාරයට සමීපව කුඹුරක තිබී හමුවූ ලිපියකින් 'යුදජි ගාමිණී අභය' යනුවෙන් වූ රජ කෙනකු ගැන ද සඳහන් වේ.
ඉතිහාසඥයන්ගේ මතයට අනුව ගජබා රජතුමා දකුණු ඉන්දියාවේදී යුද ජයග්‍රහණය කළ අයකු නිසා "යුදජී' යන විශේෂණය "යුද ජයග්‍රාහක" යනුවෙන් හඳුන්වයි. ගජබා රජු සිහසුනට පත්වන විට ලංකාවේ දකුණු දිග දේශයේ පාලනය නතුව තිබුණේ වංකනාසික තිස්ස රජුටය. එතුමා ගජබා රජුගේ පියාය. ඒ වන විට රෝහණ දේශය යටත්ව තිබුණේ උතර මහරජුගේ අභාවයෙන් පසු උපරාජනාග රජුටය. මෙතුමා ගජබා රජුගේ මස්සිනා කෙනෙකි. ඒ වන විට රෝහණ දේශය මෙන්ම දක්ඛිණ දේශය වෙන් වෙන්ව පාලනයට නතුව තිබිණි. වසභ රජුන්ගෙන් පසු තම පුත් වංකනාසික තිස්ස සමයේ දී බෙදී ගිය අනුරාධපුර රාජධානිය නැවත එක්සත් කිරිම ගජබාහු රජ සමයේදී සිදුවිණ. වංකනාසික තිස්ස රාජ්‍ය සමයේ සොළී රටේ රජු විසින් (දකුණු ඉන්දියාවේ) මෙහෙයවන ලද ද්‍රවිඩ හමුදාවකගේ ආක්‍රමණයක් මෙරටේ සිදුවිය. ද්‍රවිඩ හමුදාවන් දේපළ වස්තුව ජනතාවගෙන් කොල්ලකෑ අතර සිංහල වැසියන් දොළොස් දහසක් අල්ලාගෙන යළි ආපසු ගිය බව පැවසේ. දෙමළ සතුරු පිරිසක් මෙරටට පැමිණි තෙවැනි අවස්ථාව මෙය වන්නේය. ගජබා රජතුමා රාජ්‍ය පාලනයේ යෙදී සිටින කාලයේදී ඇතැම් අවස්ථාවල දී වෙස්වළාගෙන රාත්‍රි කාලයේ නගරයේ සංචාරයේ යෙදුණ විට වූ පුවතක් නිසා පිටරට යුද්ධයක් ඇතිවීමට පසුබිම සකස්වීමේ කතාව අපූරුය.
මෙතුමා රාත්‍රි කාලයේ රටේ සිදුවන තොරතුරු ගැන ජනතාවගේ කතාබස් අවධානය කරමින් සිටින අවස්ථාවක එක්තරා කනවැන්දුම් ස්ත්‍රියක් තමාගේ දරුවන් සොළී රජුගේ සේව්නාව අල්ලාගෙන (ගජබා රජුගේ පියාගේ රාජ්‍ය පාලනය සමයේ) ගිය නිසා ඒ සිහිපත්කර විලාප නගමින් හඬා සිටින අයුරු රජු දැන ගත්තේය. ස්ත්‍රිය සිටි ගෙය නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට පහසුවන පරිද්දෙන් එහි බිත්තියේ හුණුවලින් ලකුණු කර මාලිගාවට ගියේය. පසුදා රජතුමා අමාත්‍යවරුන් ගෙන්වා මෙනුවර අසාධාරණයකට ලක්ව හෝ නඩු/ අනඩු පිළිබඳව හෝ යමක් වැසියන්ට සිදුවී ඇත්දැයි විමසා සිටියේය. ඇමැතිවරුන් රජතුමාට ප්‍රකාශ කරන ලද්දේ මහ රජතුමනි නුවර වැසියන් මඟුල් ගෙයක මෙන් හොඳට කාබී සැපසේ සිටිති' යනුවෙනි. මින් උදහසට පත්වූ රජතුමා අසවල් ස්ථානයේ ගෙයක් හුණු වලින් සනිටුහන් කර ඇති නිසා ඒ ගෙයි වෙසෙන කාන්තාව රැගෙන එන ලෙසට විධානය කළේය. ස්ත්‍රිය රජවාසලට කැටුව ආවායින් පසුව පසුදා රාත්‍රි ඇගේ විලාපය ගැන විස්තර විමසන විට ඇය මහ රජු වෙත දන්වා සිටියේ, කරිකාල් නම් සොළී රජුගේ සේනාව සිංහල වැසියන් දොළොස් දහසක් අල්ලන විට මගේ දරු දෙදෙනාද අල්ලාගෙන යාම නිසා ඊට විස්සෝපව හැඬුම් ආ බව කීවාය. ඇගේ කතාවට කිපුණු රජතුමා පිය රජුගේ අවසර සහිතව නීල මහා යෝධයාද කැටුව සොළී රටට ගොස් තිබේ. නීල මහා යෝධයා සමග සොළී නගරය දෙවනත් කරමින් සිටියදී ඒ බව සොළී රජුට සැලවීමෙන් පසු සිංහල ජනතාව මෙපුර නසන්නට පැමිණියේ ද කියා විමසා තිබේ.
ගජබා රජ කළ රජු හමුව මා ගෙන ආ සේනාවක් නැත. මා සමග ආවේ මේ කොලු ගැටයා පමණි යැයි කියමින් නීල මහා යෝධයා පෙන්වීය. කෝසේ නමුත් සොළී රජු නොයකුත් හාස්කම් සහිත උපක්‍රම වලින් බියගන්වා ඔහු මෙල්ල කරගෙන පත්තිනි දේවියගේ රූපයත්, සලඹත්, සිව් දේවාලයේ දෙවියන්ගේ ආවුදත් එකතු කර ගත්තේත්ය. මීට අමතරව වළගම්බා රජු සමයේ සොළී පුරයට ගෙන ගිය පාත්‍ර ධාතුවත් යළි පැහැර ගත්තේය. එපමණකින් නොනැවතී සොළී රටේ ද්‍රවිඩයන් දොළොස් දාහක්ද තම රටින් (ලංකාවෙන්) ගෙන ගිය සිංහලයන් දොළොස් දාහද එකතුව විසිහතර දාහක පිරිස ලංකාවට රැගෙන ආවේය. මෙරටේ සහ සොළී රටේ පිරිස් ඒ ඒ ප්‍රවේණිවලට යවා සමහරක් අලුත් කුරුව, සොරසිය පත්තුව, යටි නුවර, උඩු නුවර, හේත්වා හැට, එගොඩ තිහ, මෙගොඩ තිහ, තුන්පන්නේ ප්‍රදේශවල පදිංචි කරවා සංවර්ධන කටයුතු වලට යොමු කරවන ලදී.
පත්තිනි දේවියගේ රූපය හා සලඹ මෙහි ගෙන ඒමෙන් පසු පත්තිනි දේවිය ඇදහීම සිදුවූ වගත් අදහස් කෙරේ. කාර්තිකේය, විෂ්ණු, නාථ, පත්තිනි වැනි දේව ඇදහීම් ලංකාව තුළ ප්‍රචලිත වූයේ ගජබා රාජ්‍ය සමයේ සිට බවට මහාවංශ තොරතුරු වලින් කියැවෙි. ගජබා රජතුමාගෙන් සිදු වූ ශාසනික සේවය අති මහත්ය. රාජාවලිය සහ පූජාවලිය, රජතුමාගේ දස්කම් විස්කම් ගැන කරුණු සටහන්කර ඇතත් මහාවංශය ඒ ගැන එතරම් උනන්දුවක් දක්වා ඇති වගක් නොපෙන්නේ. ගජබා රජතුමා අභයගිරි විහාරයට වැඩි කැමැත්තක් දැක්වීම මීට හේතුව විය හැකි යැයි විශ්වාස කෙරේ. තම්බෝල, නාග පබ්බත විහාරය, ගෝඨ පබ්බත විහාරය සෑදීම හා ප්‍රතිසංස්කරණ කටයුතු මෙතුමාගේ සමයේ සිදු කෙරිණි. එවකට වලවේ ගං මුවදොර ජාත්‍යන්තරව ආනයන අපනයන කටයුතුවලට යොදාගෙන තිබීම නිසා ඉන් ලැබුණු තීරු බදු ගාස්තු "ගොඩ පවත” විහාරයට ලැබීමට සලස්වා තිබිණ.
සිතුල්පව්වේ ඇති සෙල්ලිපියක තොරතුරු වලින් කියැවෙන්නේ "දුබලය හට' සහ 'අකුජු මහමඟ' නම් ස්ථාන වල තිබුණ විනිශ්චය ශාලාවලින් (අධිකරණ ශාලා) ලැබුණු දඩ මුදල් සිතුල්පව්ව විහාරයේ භික්ෂූන් වහන්සේට සෞඛ්‍ය පහසුකම් සැපයීමට වෙන්කර දී ඇති වගකි. උතුරේ තාමරගල සෙල්ලිපියකින් ගුත්ත පබ්බත විහාරයට කුඹුරු 11ක් පූජා කළ බවක්ද කියැවෙයි. පාලු මැකිච්චාව ලිපියෙන් ගම්‍ය වන්නේ වඩමනක වැව (වඩමානක වාපී) ථූපාරාම විහාරයට පූජා කළ වගකි. මෙතුමා අභයගිරි චෛත්‍ය තවදුරටත් විශාල කෙළේය. එහි සිව් දොරටුවල වාහල්කඩ ඉදිකනු ලැබීය. තම මව සිහිගන්වනු වස් " ගාමිණී'' නමින් පොකුණක්ද නිර්මාණය කළේය. මිරිසවැටිය සෑයේ කංචුකයද කරවන ලද්දේ මෙම රජතුමා විසිනි. රජු මහලු වියට පැමිණිවිටද රාමුක විහාරය කරවා තිබේ. ඉන්දියාවට ගොස් සොළී රජු බියගන්වා සටන්කර විසිහතර දහසක පිරිසක් මෙරටට රැගෙන ඒමට සමත්වීමෙන් ලංකාවට කීර්තියක් ලබාදුන් ප්‍රථම රජු ලෙසට ගජබාවන් සලකනු ලබයි. එසේ ගජබාහු රජුට ඇත් සොඬක් සේ ශක්තිමත් බාහුවක් තිබුණ නිසා තම වීරත්වය ප්‍රගුණ කරවූයේය.
Comments
Post a Comment