
දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය පාලන ක්‍රියාවලිය සහ බුදු සසුනේ ආරක්‍ෂාවට ගත් ක්‍රමවේදයන් නිසා ජෛනයන්ට හා බ්‍රාහ්මණයන්ට රජුගෙන් ලැබිය යුතු ඇතැම් වරප්‍රසාද අඩුවිය. මේ හේතුව නිසා මොවුන් බලය ඇල්ලීමට වෙර දරමින් සිටි පසුබිමක වළගම්බා රජ පවුලට සම්බන්ධව ද නොයෙකුත් ආරවුල්, වියවුල් ඇති වී තිබිණි. වළගම්බා කුමරු පළමුව රාජ පදවියට පත් වූයේ ක්‍රි. පූ. 109 දී ය. ඒ වන විට ඊට පෙර සිටි ඛල්ලාටනාග රජු මරා සිහසුන දරා සිටියේ මහාරත්තක නමැති සෙනවියාය. ඛල්ලාටනාගයන් වළගම්බා රජුන්ගේ සහෝදරයෙකි. වළගම්බා රජුට වට්ටගාමිණී, ගාමිණි අභය, පිතමහරජ යනාදී වශයෙන් නම් කීපයක් පටබැඳී තිබිණි. මෙතුමා රාජ්‍ය බලයට පත් වන සමයේදී ජෛන බලය බෙහෙවින් බලපා තිබුණ බව මහාවංශයේ දැක්වෙයි. තම සහෝදර ඛල්ලාටනාග රජු සමයේ උතර, අභය සහ තිස්ස යන ජන ආගමික කුමාරවරු සිහසුන පැහැර ගැනීමට උත්සාහ දරා එය සඵල නොවීම නිසා ඔවුන් ගිරි නිඝණ්ඨාශ්‍රමයේදී ගින්දරට පැන සියදිවි හානි කරගත් බව කියැවේ.අනතුරුව වළගම්බා රජු ප්‍රථම වරට ක්‍රි. පූ. 109 දී බලයට පත්ව සිටියදී බ්‍රාහ්මණ බලය ද වර්ධනය වී තිබිණි. තීය නමැති බ්‍රාහ්මණයා රජුට එරෙහිව කැරැල්ලක් ඇති කිරිමෙන් බ්‍රාහ්මණ බලය ද තහවුරු වී ඇති බව පෙනේ. ඛල්ලාටනාග රජුගේ පුතෙකු වන මහාචූලී මහාතිස්ස කුමරු වළගම්බා රජුගේ පුතෙකු ලෙස රැකබලා ගත් අතර, ඔහුගේ මව අනුලා නම් වූවාය. "පිතමහරජ' යනුවෙන් වළගම්බා රජුට නම පටබැඳුණේ සහෝදර බල්ලාටනාග රජුගේ අභාවයෙන් පසු බිසව අනුලා දේවියගේ පුත් තම පුත්‍රයකු ලෙස රැකබලා ගැනීම නිසාය. පසුව අනුලාවන්ද තම බිසව ලෙස රැකබලා ගත් අතර, සෝමා දේවිය අගබිසව් තනතුරේ තබා ගත්තේය.
තීය බ්‍රාහ්මණයාගේ සතුරු කරදර පවතිද්දී ලංකාවේ වයඹ වෙරළේ පිහිටි මහා තිත්ථයට ද්‍රවිඩ ආක්‍රමණිකයෝ හත්දෙනෙක් පැමිණියාහ. පැති දෙකකින් සතුරු ආක්‍රමණ එල්ල වීම නිසා බලවේග දෙකම එක් පැත්තකට නැඹුරු කිරීම් සඳහා තීය බමුණාට ආක්‍රමණිකයන් පලවා හැර රාජ්‍ය ලබා ගන්නා ලෙසට රජු දන්වා යැවීය. මහාවංශයේ දැක්වෙන තොරතුරුවලට අනුව වළගම්බා රජුට දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නට සිදුවිණි. 'තනශිව' නමැති ප්‍රාදේශීය පාලකයා සමග ඇතිකර ගත් ගැටුමෙන් ඔහු මරා දැමීමට තීරණය කිරීමත්, තම ඇමැතිවරුන් අටදෙනාගෙන් එක් අයකු වන තපීසීය නමැත්තා තමාට ආචාර නොකිරිමේ වරද නිසා මරා දැමීමට ගත් නිගමනයත් සහ සෙසු ඇමැතිවරුන් ද රජු නිශ්චිත කරුණු වටහා නොගෙන ගත් තීරණ නිසා රජුගෙන් ඉවත්වීම රජුට අවාසිදායක තත්වයක් වූයේය. පසුව හඩුගල් විහාරයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් වී රජුගෙන් ඉවත් වූ ඇමැතිවරුන් යළි රජු හා සමගි කරවීමට හා කුපික්කල මහාතිස්ස තෙරණුවන්ගේ සහාය ලබා ගැනීමට හැකිවීම රජුට යම් අස්වැසිල්ලක් වුයේය.වළගම්බා රජුගේ ඉල්ලීම පරිදි තීය බමුණා ද්‍රවිඩ ආක්‍රමණිකයන් සමග සටන් වැදී පරාජයට පත් වූයේය. ආක්‍රමණිකයන් අනුරාධපුරය බලා ඉදිරියට ගමන් ගනිද්දී වළගම්බා රජු ද තම සේනා පිරිස් සමග කොලොම්බහාලකයේදී පහර දුන් නමුත් පරාජය කිරීම අපහසු විය. මේ නිසා පලායෑම හැර අන් මගක් රජුට නොවීය. මේ සියලු පසුබෑම් අතර, ගැබ්බරව සිටි අනුලාදේවිය හා තවත් ඇගේ පුත් කුමරකු ද, රජ බිසව වූ සෝමාදේවිය හා පුත් කුමරු ද ඇතුළු 05ක් රථයේ සිටියාහ. වැඩි පිරිසක් රථය තුළ සිටීම නිසා ඉක්මන් ගමන් අපහසු විය. රජු සහ පිරිස සතුරන් අතට පත්වේ යැයි සිතූ සෝමා දේවිය හනික රියෙන් බිමට බැස්සාය. මේ අතර රජු වහා පලා ගොස් වෙස්සගිරි වනයේ සැගවුණේය. එසේ රජු පැන යන දුටු ජෛමාශ්‍රමයේ (අනුරාධපුර උතුරු දොරටුව සමීපව) සිටි ගිරි නමැති නිගණ්ඨයා "මහා කළු සිංහලයා පලායයි'' යැයි අවඥාවෙන් හඬගා ඝෝෂා කළේය. රජුට ඒ අවලාදය අමතක නොවීය. තමාට බලය ලැබුණු කල්හි ජෛනාශ්‍රමය විනාශ කර විහාරයක් කරවන බවට රජු අවධාරණය කර ගත්තේය.
රජු පැන යෑමෙන් පසු ආක්‍රමණිකයෝ නගරය අත්පත් කර ගත්හ. සෝමාදේවිය, ද්‍රවිඩ නායකයකු පැහැර ගෙන ඉන්දියාවට පලා ගියේය. තවත් එවන් නායකයකු බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුව රැගෙන ඉන්දියාවට ගියේය. සෙසු ද්‍රවිඩ නායකයන් (ආක්‍රමණිකයන්) පස්දෙනා වූයේ නම් වශයෙන් චූලහත්ථ, බාහිය, පනයමාර, පිලියමාර සහ දායික යනුවෙනි. මොවුන්ගෙන් පළමුවැන්නා වූ මූලහත්ථ වසර 03ක් පමණ රජ තනතුර ඉසිලීය. පසුව බාහිය ඔහු මරා වර්ග 02ක් රජකම් කළේය. බාහිය ද පනයමාර විසින් ඝාතනය කරන ලදුව පනයමාර ඊළඟට රජ විය. ඔහුට මාස 07 කට වඩා රජකම් කිරීමට නොහැකි විය. පසුව ඔහුද මරා දමන ලද්දේ දාඨික විසිනි. ඔහුද රජ බවට පත් වී පස්දෙනාම වර්ෂ 14 කුත් මාස 7ක් අනුරාධපුරයේ රජවරු ලෙස සිටියාහ. මේ කාලය තුළ පලාගොස් වෙස්සගිරියේ සැඟවී සිටි වළගම්බා රජුට මහාතිස්ස තෙරණුවන් මුණගැසීම නිසා ආහාර පානයෙන් සංග්‍රහ ලැබීමට හැකි වූයේය. රජුට මහාතිස්ස තෙරණුවන්ගෙන් නොයකුත් අයුරින් උදව් පදව් ලැබිණි. මේ අතර තීය බ්‍රාහ්මණයාගේ අභාවයෙන් පසු ආක්‍රමණිකයන් හා සටන් කර වළගම්බා රජු දාඨිකගෙන් රාජ්‍ය බලය පැහැර ගත්තේය. දෙවන වරට රාජ්‍ය බලයට පත්වීමෙන් පසු (ක්‍රි. පූ. 89) රට එක්සේසත් කර, තමා මලය සහ රුහුණු පළාත්වල සිටි කාලයේදී උදව් කළ කුප්පික්කල මහාතිස්ස හිමියන්ට ගිරි නිගණ්ඨාශ්‍රමය කඩා දමා, එහි අභයගිරිය ඇතුළු විහාර පිරිවෙන් කීපයක් ඉදිකරවා දුන්නේය. මේ අතර මහාතිස්ස තෙරණුවන්ගේ විනය විරෝධී කටයුත්තක් නිසා මහා විහාරයෙන් ඉවත් වීමට සිදුවිය. තවත් භික්ෂු පිරිසක් සමග තෙරණුවන්ට අභයගිරි විහාරයේ වාසයට යෑමට සිදුවීම නිසා මේ රටේ පළමු වරට නිකාය භේදයක් සිදු වූ වගත් කියැවේ. මෙය ශාසනික වශයෙන් වැදගත් සිද්ධියක් ලෙස ඉතිහාසගත වී තිබේ. නිකාය සංග්‍රහයෙහි කුප්තික්කල මහාතිස්ස හිමියන්ගේ නම කෙම්ගලුතිස්ස යනුවෙන් ද දක්වා ඇත. මහා විහාරයෙන් භික්ෂුන් පන්සියයක් වෙන් වී අභයගිරියට ගිය වගත් නිකාය සංග්‍රහයෙහි දැක්වේ. නිකාය සංග්‍රහයට අනුව දඹදිව පල්ලවාරාමයෙන් පැමිණි ධර්ම රුචි නමැති ආචාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අභයගිරිවාසීන් ථෙරවාදී සම්ප්‍රදායටත් ධර්මරුචි නිකාය බවට පත් වූ වගක් කියැවෙයි. පොලොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජතුමා මෙම නිකාය භේදය පසුව සමඟි කරවීය. වළගම්බා රාජ්‍ය සමයේදී මාතුල දනව්වේ අලුලෙනේදී ත්‍රිපිටකය අටුවා සහිතව ග්‍රන්ථාරූඪ කිරීම ද සිදුව ඇත.
තීය බ්‍රාහ්මණයාගේ පාලන යුගයේදී බැමිණිතියාසාය නමින් දුර්භික්ෂයක් ඇති වී තිබිණි. අට්ඨ කථාවලින් දැක්වෙන පරිදි බැමිණිතියාසායෙන් පීඩිත වූ භික්ෂූන් වහන්සේලා දඹදිව ගොස් පසුව ලංකාවට පැමිණ මණ්ඩලාරාමයේදී ධර්ම ග්‍රන්ථ ලියා ඇති බවට විශ්වාස කෙරේ. බැමිණිතියා සාගතය වසර 12ක් තිස්සේ පැවැතීම නිසා දහස් ගණන් භික්ෂූන් වහන්සේ අහර නොමැතිව අපවත් වූ බව කියැවේ. මණ්ඩලාරාමයේදී ධර්ම ග්‍රන්ථ ලියා තැබීමට මූලිකත්වය ගන්නා ලද්දේ ථූපාරාමවාසී කුත්තගත්තතිස්ස මහ රහතන් වහන්සේය. අස්ගිරි තල්පතට අනුව මහා විහාර භික්‍ෂූන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලද්දේ මහා විහාරයට එරෙහිව අභයගිරිය නිර්මාණය වූ නිසා අනාගතයේදී ශාසනය දියුණු කරලීමේ අටියෙන් බව කියැවේ. මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම සිදුවීම වළගම්බා රජුගේ අභයගිරිය නිර්මාණය කිරිමෙන් පසු ශාසනික වශයෙන් ඇති වූ මතභේද අනුව බව අස්ගිරි තල්පතින් ගම්‍ය වෙයි. වළගම්බා රජතුමාට සිය රාජ්‍ය රැකගැනීමට නොහැකිව ඇඳිවත පමණක් ඇතිව පලා යෑමට සිදුවීම සහ අප්‍රකටව දොළොස් වසරක් වනයේ ගල් ලෙන් (ගුහා) වල සැගවී සිටීමට සිදුවීම පුදුම සහගතය. තමා සැඟවී සිටි බොහෝමයක් ගල් ලෙන් වෙහෙර විහාර බවට පත් කිරීමට මෙතුමා කටයුතු කිරීම අතිශයින් වැදගත් වන්නේය.මහා විහාරයට පක්‍ෂපාතී බවක් නොපෙන්වා අභයගිරියට පත් බව පෙන්වීම නිසා වංශකථාකරුවන් වළගම්බා රජු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව ඉතිහාසඥයන්ගේ මතය වී තිබේ. රජරට බිඳ වැටෙමින් අවිචාරවත්ව පැවැති යුගයක ද්‍රවිඩ බලය විනාශ කිරීමට මලය රටේ සැගවී සිට රෝහණය හරහා පැමිණ සටන් කර දෙවන වරටත් රජ වූ වළගම්බාවන්ගේ පාලන කාලය වසර 12 කට සීමා වූයේය. (ක්‍රි. පූ. 89-77) දෙවය ඉදිරියේ එයට එරෙහිව සටන්වලයෙදී උදාර වීරයකු ලෙස තම පාලනය ආගමික නැඹුරුවකට යොමු කිරීම වැදගත් වන්නේය. රට තුළ සාගතයක් පැවතීම නිසා යළි රට සංවර්ධනය කරමින්, සුභ කිරීමේ කාර්යය ද රජු වෙත පැවරුණ නිසා තම පාලන සමයේ වගකීම් රැසකට මුහුණ පෑමට සිදුවිය.
Comments
Post a Comment