
දුටුගැමුණු කුමරුගේ උප්පත්ති කතාව ඉතාමත් විචිත්‍රය. මෙතුමා ඉහත ආත්මයේ සාමණේර භික්ෂු නමක් ලෙසින් පබ්බත විහාරයේ වැඩවාසය කළ බව පසක් කරයි. හිමිනම රෝගාතුර වීමෙන් පසු තිස්සමහාරාමයේ වැඩ සිටි කාලයේදී පුතෙක් නොලද විහාරමහා දේවිය තම ස්වාමිපුරුෂයා වූ කාවන්තිස්ස රජු සමග හිමිනම බැහැදැකීමට ගොස් තිබේ. දේවිය රැගෙන ගිය පූජා භාණ්ඩ ලෙඩින් සිටි සාමණේර හිමි නමට පුදා තමාට දරුවකු ලබාදෙන ලෙස අයැද සිටියාය. දෙවරක්ම කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප විය. තෙවනුව කරන ලද ඉල්ලීමට එකඟ විය. රජු හා දේවිය ආපසු පිටත්ව යද්දී සාමණේරයන් වහන්සේ අපවත් වී දේවියගේ කුස පිළිසිඳ ගත් වග වංශකතා කියයි. මහාවංශය, ථූපවංශය, ධාතුවංශය වැනි වංශකතාවලින් ද රසවාහිනිය, සද්ධර්මාලංකාරය වැනි වෙනත් කෘතීන්ගෙන්ද දුටුගැමුණු රජුගේ අනුරාධපුර යුග දේශපාලන ක්‍රියාවලිය මැනවින් කියයි.
වංශකතා තොරතුරුවලට අනුව දුටුගැමුණු කුමරු උපන් දිනයේ නානාවිධ රන් රුවන් වලින් යුත් නැව් හතරක් වෙනත් රටවලින් ලංකාවට ආ බව කියැවේ. ඡද්දන්ත කුලයේ ඇතින්නියකගෙන් ඇත් පැටවකු (කණ්ඩුල) ලැබුණු වගක් ද අනාවරණය වේ. කුමරුට නම් තබන ලද උත්සව දිනයේදී භික්ෂූන් වහන්සේලා දහස් ගණනකට දාන මාන පිරිනැමූ වගක් ද සඳහන් වෙයි. සතියක් පමණ නුවරවාසීන් උපන් දින උත්සවයට සැණකෙළි පවත්වා තිබේ. කුමරුට නම් තබන විට මාගම වඩ්ඨමාන නුවර නායකත්වයෙන් "ගාමිණී" යනුවෙන් ද කාවන්තිස්ස පිය රජතුමාගේ පියාගේ නමින් "අහය'' යනුද ගෙන "ගාමිණී අභය" යැයි ප්‍රසිද්ධියට පත් කරන ලදී.
ගාමිණී අභය කුමරු ළමා විය පසු කරමින් සොළොස් හැවිරිදි වියට පත් වූ කල පිය රජු හා උරණ වූයේ ය. එළාර රජු සමග සටන් කිරිමට තෙවරක්ම ඉල්ලා සිටි නමුත් අවසර නොලැබීම ඊට හේතුවයි. තම පියා බියගුලු කාන්තාවක ලෙස සලකා ස්ත්‍රී පලඳනා පැලැඳගන්නා ලෙසට පලඳනා දූතයකු අත යැවීය. මෙම අවමානයට කිපුණු රජතුමා කුමරුට දඬුවම් දීමට තැත් කිරීම නිසා ඔහු කොත්මලේට පලා ගියේය. මේ අනුව පියාට දුෂ්ටව කටයුතු කිරීම නිසා දුට්ඨ ගාමිණී යනුවෙන් නමක් ගෙතුන වග වංශකතා කියයි. කාවන්තිස්ස රජුගේ අභාවයෙන් පසු සිය සහෝදර තිස්ස කුමරු සමග රජ කිරුළට අරගල කිරීමෙන් ජයගත්තේ ය. තිස්ස කුමරු දීඝවාපී ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවල යෙදිණි. එහි වැඩසිටි ගෝතම නමින් වූ භික්ෂූන් වහන්සේ නමක් සහෝදරයන් දෙදෙනා යළි සමගි කරවන ලදී. මාගම රජු වූ ගාමිණි කුමරු එළාර රජු ප්‍රමුඛ ආක්‍රමණිකයන්ගෙන් රට මුදවා ගැනීමට කටයුතු සම්පාදනය කළේය. යුද උපක්‍රම කටයුතු සංවිධානය කර දුටුගැමුණු දශ මහා යෝධයන් කැටුව තිස්සමහාරාමයට ගියේය. අනතුරුව භික්ෂුන් වහන්සේලා පන්සිය නමක් සමග මහියංගනයට පැමිණ පළමු සටන එහිදී සිදුවිය. මහවැලි ගඟ අවට පිහිටි බලකොටු සියල්ල යටත් කරගෙන ගඟින් එගොඩ වී විජිතපුරයට ළඟාවීය. විජිතපුර බලකොටුව අල්ලාගත් ගැමුණු ස්නාව කසාගල කඳවුරු බැඳ අනුරාධපුර නගරයේ දකුණු වාසල දොරටුව අසල දුටුගැමුණු - එළාර ද්වන්ධ සටන ආරම්භ විය. මෙම යුද්ධයෙන් ජයගත් දුටුගැමුණු රජු, එළාර රජුගේ අවසන් කටයුතු කර සොහොනක් පවා ඉදිකරවීය. එම ස්ථානයෙන් ගමන් කරන්නන් රථවලින් බැස පයින් යා යුතු බවට නීතියක් ද පැනවීය.
දුටුගැමුණු රජතුමා "මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේ. හුදෙක් බුදු සසුනේ යහපත උදෙසාය" යනුවෙන් තම අරමුණු ප්‍රකාශ කළේය. බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා දුටුගැමුණු රජතුමා කරන ලද මෙහෙය අතිවිශාලය. රුවන්වැලිසෑය, මිරිසවැටිය, ලෝවාමහා ප්‍රාසාදය වැනි ඉදිකිරීම් මෙතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. රුවන්වැලිසෑය මුළුමනින්ම අවසන් කිරීමට පෙර දුටුගැමුණු රජතුමා මරණාසන්න වූයෙන් චෛත්‍යයේ සැලැස්මට අනුව එය සුදු වස්ත්‍රයෙන් සකසා රජුට පෙන්වා තිබේ. දීඝවාපියේ සිටි තිස්ස කුමරු විසින් මෙය කරන ලදී. රුවන්වැලිසෑයත්, ලෝවාමහාපායත් අතර මණ්ඩපයක වැතිර සිට දුටුගැමුණු රජු අවසන් ගමන් ගියේය. මෙතුමා විහාර 99ක් ද. වෙසක් පූජා 24ක් ද කරව විගය යැයි ලංකා රාජවංශයේ 44 වසරක් ආක්‍රමණිකයන්ට යටත්ව පැවැති රජරට මුදවා ගැනීමට මෙතුමා සමත් විය. රට එක්සේසත් කළේය.
ආගම, ජාතිය, දේශපාලනය ඒකරාශි කර රට එක්සේසත් කිරීමේ ප්‍රථමයා ලෙස දුටුගැමුණු රජු පිළිගැනේ. මහාවංශයට අනුව දුටුගැමුණු රජු රට එක්සේසත් කිරීමෙන් පසු තම යෝධයන්ට තනතුරු පිරිනමා තිබේ. රට තුළ අධිකරණ, රෝහල්, මාතෘ නිවාස ඉදිකෙරිණි. රාජ්‍ය බලය අනිසි ලෙස යොදවා චෛත්‍යයක් ඉදිකළේ නැත. සෑයවල් ඉදිකිරීමට සහයෝගය දුන් සැමට ආහාර පාන නොමිලේ සපයාදී ඇත. දන්සල් හතරක් ඉදිකර තිබිණි. දුටුගැමුණු රජතුමාගේ කම්කරු ප්‍රතිපත්ති ඉතාමත් යුක්ති සහගත වූයේය. දුටුගැමුණු රජුගේ දේවියක හෝ බිසවක හෝ ගැන සඳහන් නොවේ. එහෙත් කොත්මලේදී රන්මැණිකා නම් තරුණියක් පාවාගත් වගක් ජනකතාවලට එක්ව තිබේ. පියංගල තිබී හමුවූ ශිලා ලේඛනයකට අනුව රජුගේ අභිෂේක බිසව රාජිතා ලෙස හඳුන්වයි. ප්‍රේම වෘත්තාන්තයකට සමීප වූ සාලිය කුමරු ගැමුණු රජුගේ එකම පුතු හැටියට පියංගල ලේඛනයේ කියැවෙයි.
Comments
Post a Comment