
දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු හිමියන්ගේ සම්ප්‍රාප්තියෙන් මෙරට බුදුදහම පෝෂණය වූ අතර ථෙරවාදී බුදු සමයේ කේන්ද්‍රස්ථානය ලෙස මහා විහාරයත් ප්‍රථම ස්ථූපය වශයෙන් ථූපාරාමයත් ඉදිවීම සිදුකෙරිණි. මීට අමතරව බෞද්ධ සංස්කෘතියේ විවිධ අංශවල පුජිවනයක්ද සිදුවූ වග මීට ඉහත ලිපියෙන් දැක්විණි. දේවානම්පියතිස්ස රජතුමාට සහෝදරයන් 09ක් සිටි බව කියැවේ. රජුගේ මරණින් පසු රජකමට පත්වූයේ සහෝදර උත්තිය කුමරුය. (ක්‍රි. පූ. 267-257) උත්තිය රජු සමයේ මිහිඳු මාහිමිපාණන් සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ අභාවයෙන් සිදුවී තිබේ. උත්තිය රජුගෙන් පසු තම සහෝදර මහා සිව කුමරු රජ වූයේය. (ක්‍රි. පූ. 257-247) මෙතුමා විසින් නගරංගන නමින් විහාරයක් කැරවූ වග පැවසේ. මහා සිව රජුගේ ඇවෑමෙන් පසු අනෙක් සහෝදරයා වූ සුරතිස්ස කුමරු (ක්‍රි. පූ. 247-237) රජකමට පත්වූයේය. අනතුරුව සුරතිස්ස රජුගේ රාජ්‍ය පාලනය කෙළවර වූයේ අස්නැවියන් පුත් දෙදෙනකු විසින් රාජ්‍ය පැහැර ගැනීම නිසාය. සේන සහ ගුත්තික යනුවෙන් හඳුන්වන මොවුන් දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩයන් ලෙස මහාවංශය හඳුන්වයි. මොවුන්ගේ සේවා කාලයේදී (37 215 වරට කුරින් පිහිටි මතු ඔයේ ජල බැස්ම වෙනස් කර නුවරට ආසන්නව ගලායෑමට සැලැස්වූ වගක් කියැවේ. අනතුරුව අසේල්ල කුමරු වර්ෂ 10ක් රාජ්‍ය පාලනය කළ ද වැඩි විස්තර වංශකතාවලින් අනාවරණය නොවේ. අසේල රජුගේ රාජ්‍ය සමයේදී දකුණු ඉන්දියාවේ සොළී රටින් ලංකාවට පැමිණි ද්‍රවිඩ ජාතික එළාර (ක්‍රි. පූ. 205-161) ආක්‍රමණිකයෙකු ලෙස වංශකතා හදුන්වයි. ඔහු ලංකාවට පැමිණීමට පෙර සිංහල රාජ්‍යත්වය තුළ අරාජික තත්වයක් උද්ගතව තිබිණි. සේන, ගුත්තික වැන්නවුන්ගේ ක්‍රියාකාරකම් මීට අනුගතවී යැයි සැලකේ. එළාර රජු බෞද්ධයකු නොවූ අතර ඔහු අපක්ෂපාතී ධාර්මික රජකු ලෙස පිළිගැනේ. ඇතැම් අවස්ථාවල එතුමා සෑගිරියට ගොස් භික්ෂූන් වහන්සේලාගේ සුවදුක්, අඩුපාඩු ගැන සොයා බැලුවේය. තමාගෙන් යුක්තිය ඉටුකර ගැනීමට ඕනෑම පුද්ගලයකුට ඉදිරිපත් විය හැකි බවට ජනතාව දැනුවත් කර සිටියේය. දිනක් භික්ෂූන් වහන්සේලාගේ සුවදුක් විමසීමට සෑගිරිය වෙත යන විට රියේ කඩ ඇණය ථූපයේ කොටසක වැදී ඊට හානි විය. මෙය දුටු ඇමැතිවරු තම විරුද්ධත්වය පළකර උඝෝෂණය කළහ. රජු රියෙන් වහා බිමට බැස, බිම වැතිරි තම හිස සිඳින ලෙස ඉල්ලා සිටියේය.
අමාත්‍යවරු බෞද්ධයන් වන අපි එසේ නොකරමු යැයි පැවසූ විට රජු ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරිම සඳහා කහවණු පහළොස් දහසක් ලබාදී තිබේ. එළාර රජුගේ නිදන කාමරයට සම්බන්ධ වන අයුරින් සීනුවක් ලණුවක ගැටගසා පිටත එල්ලා තිබිණි. එක්තරා කතා පුවතකට අනුව එළාර රජුගේ පුත් "විදි විඩංග යුවරජු අශ්ව රියේ ගමන් කරද්දී ඊට වසුපැටවකු හසුවී මිය ගියේය. වසුපැටවාගේ මවු එළදෙන සීනුව ඇද රජුට දැනගැනීමට සැලැස්වීමෙන් තමන්ගේ පුත්‍රයා අශ්ව රථයට යටකර මරා දමන ලෙසට අණ දුන් වගක්ද කියැවෙයි. ඇතැම් අවස්ථාවල නියං සමයේදී එළාර රජු උපවාසයෙහි යෙදී වැසි වැස්ස වූ වගත් අනාවරණය වෙයි. යුක්තියට ගරු කළ එළාර රජු පෙර සිරිත් විරිත් අනුගමනය කරමින්, සංඝ සමාජයට ගරු සරු දක්වමින් දැහැමින් රට පාලනය කර තිබේ. එළාර ප්‍රතිමාගෙය නමින් ගෘහයක් කරවූ වගද සඳහන් වේ. එළාර රජුන්ගේ ප්‍රධාන යෝධයා බෞද්ධයෙකු වූ අතර නමින් දීගජන්තුය.මෙතුමා දකුණින් මහවැලි ගග දක්වාද, අනෙක් පැත්තෙන් රුහුණට ආශ්‍රිතවද තම බලය ව්‍යාප්ත කරගෙන සිටියේය. මහවැලි ගගදිගට බලකොටු ඉදිකළ අතර, විජිතපුරයේද ගිරිනුවර අරිට්ඨ පබ්බත වැනි දිශාවලද බලකොටු ව්‍යාප්ත කර ගත්තේය. දුටුගැමුණු රජ එළාර රජු හා සටන් වදිද්දී මහවැලි ගගේ රෝහණ දේශයට අයත් ගම්බිම්වල තිබූ බලකොටුවලට ප්‍රථමයෙන් පහරදී තිබේ. විජිතපුර බලකොටුව ඉතාම ශක්තිමත් බලකොටුවක් වූ අතර තවත් බලකොටු තිස් ගණනකින් ආරක්‍ෂ සංවිධාන තරකර සිටියේය. දුටුගැමුණු රජුගේ යෝධයෙකු වු නන්දිමිත්‍රගේ මව විවාහ කරගෙන සිටියේද එළාර රජුගේ සෙනවියෙකි. දුටුගැමුණු රජුගේ සේනාව විසින් විජිතපුර බලකොටුව අල්ලා ගැනීමෙන් පසු එළාර පලායෑමට තැත් කළේය. අනතුරුව අනුරාධපුර දකුණු වාසල් දොරටුව සමීපයේදී රජවරුන් දෙදෙනාගේ සටනින් එළාර පරාජය විය. මියගිය එළාර රජතුමාගේ අවමංගල්‍ය උත්සවය මහත් ඉහළින් පවත්වා භෂ්මාවශේෂ සොහොන් කොතේ තැන්පත් කිරීමට තරම් දුටුගැමුණු රජතුමා කාරුණික විය. සොහොන අසලින් යන රථ නවතා පයින් ගමන් කරන ලෙසටද නියෝග කළ බව කියැවේ.
Comments
Post a Comment