
පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය පාලන කාල සීමාව වර්ෂ 70ක් වූ අතර, (ක්‍රි. පූ. 377-309) වර්ෂ 17ක් පමණ රට අරාජිකව පැවතියේය. මීට ඉහත කළ විස්තර පරිදි සියලු ගම්වල මායිම් ලකුණු කිරිම, අනුරාධ ග්‍රාමය ලංකාවේ අගනුවර බවට පත්වීම සිදුවූයේ මෙතුමාගේ කාලයේදීය. නගර පාලනයට අදාළ නීති, ප්‍රදේශ පාලන ක්‍රම, සෞඛ්‍ය, වාරිමාර්ග ක්‍රම, රාජ්‍ය පාලනයට පහසුවන පරිදි නිලතල තනතුරු ඇතිකිරීම් මෙතුමාගේ පාලන කාලයේදී ප්‍රථම වරට සිදුවිය. පණ්ඩුකාභය රජුගෙන් පසු රජ වූයේ තම පුත් මුටසීව කුමාරයාය. මුටසීව රජු පිළිබඳව වංශකතාවලින් වැඩි විස්තරයක් ගෙතී නැති වග පෙනේ. මෙතුමා විසින් අනුරාධපුර මහමෙව්නා උයන කරවූ වග කියැවේ. මුටසීවට පුතුන් දසදෙනකු හා දියණියන් දෙදෙනකු සිටියේය. මරණින් පසු 2 වන පුත් තිස්ස කුමරු රජු තනතුරට පත්වුයේය.
අයියා සිටියදී මල්ලීට රජකම ලැබුණේ ඔහු වඩාත් බුද්ධිමත්, අපක්ෂපාතී, නිහතමානී, කාර්යක්ෂම අයකු වීම නිසාය. තිස්ස කුමරු අභිෂේක ලැබූ කාලයේදී අභූත වස්තු තුනක් පහළ විය. ලතා යෂ්ටි, කුසුම යෂ්ටි, ශකුණ යෂ්ටි යනුවෙන් ඒවා හැඳින්වෙයි. එසේම මුතු මැණික්, වර්ගද පහළ වූ වග කියැවේ. කැඩුණ, බිඳුණ නැව්වල වටිනා දේවල් වෙරළට ගසා ඒම, නිධන් මතුවීම, වැනි අනගි අසිරිමත් දේවල් එතුමාගේ කාලයේදී පහළ වූයේය. මෙසේ ලැබුණු වස්තුවලින් කොටසක් ඉන්දියාවේ පාලකයා වූ ධර්මාශෝක රජතුමා වෙත තිස්ස රජු පරිත්‍යාග කළේය. මෙම අනගි ත්‍යාගයන් ගෙනයෑමට සලස්වන ලද්දේ තම බෑනා කෙනකු වූ මහා අරිට්ඨ ඇතුළු පිරිසක් මගිනි. ත්‍යාග ලබා පැහැදුණු ධර්මාශෝකයන්ද දූත පිරිස අත කළගුණ සැලකීමක් වශයෙන් හා මිතුදම් දියුණුකරගනු වස් ත්‍යාගයන් රැසක් එවීය. එපමණක් නොව ඒ අතර සුවිශේෂී පඬුරක්ද වීය. "මම තෙරුවන් සරණ ගියෙමි. ඔබත් එසේවන්න" යනුවෙන් වූයේ ඒ දහම් පඩුරයි.
දූත පිරිස ඉන්දියාවේ (දඹදිව) පැළලුප් නුවර සිට ආපසු ආහ. එනවිට ගෙන ආ අභිෂේක පඬුරුවලින් තිස්ස රජු යළි අභිෂේක වූ වගක් සඳහන් වේ. මෙය ලංකාවේ සිදුවූ ප්‍රථම වැදගත් අභිප්තය ලෙස සැලකේ. ධර්මාශෝක රජතුමා ලංකාදූත පිරිස අත එවනලද ත්‍යාගයන් අතර පංචරාජ කකුධ භාණ්ඩ, සඳුන්, වස්ත්‍ර අරණුවන්වැටි, ක්ෂත්‍රීය කන්‍යා, ඖෂධ වර්ගද විය. තිස්ස රජතුමාගේ අභිෂේක උත්සවයට අනවතත්ත විලෙන් රැගෙන ආ පැද භාවිත කර තිබේ. නව අහිෂේකයෙන් පසු දේවානම්පිය යන කොටස්ද තිස්ස නමට මුල්විය. දේවානම්පියතිස්ස රජුගේ පාලන සමයේදී සිදුවූ සුවිශේෂී සිද්ධීන අතර, ලංකාවේ බුද්ධ සාසනය පිහිටුවීම අරභයා මිහිඳු මාහිමිපාණන්ගේ සැපත්වීම කැපී පෙනෙයි. ධර්මාශෝක රජතුමා ඉන්දියාවේ සිට ධර්මදූත කණ්ඩායම් රටවල් 09 කට යැවීමට තෝරාගත් අවස්ථාවේදී ලංකාවද ඊට ඇතුළත් විය. රජ තුමාගේ පුත්‍රයකු වූ මිහිඳු මාහිමිපාණන් සහිත දූත පිරිසක් පොසොන් පෝදා අනුරාධපුරට නුදුරු මිස්සක පව්වට වැඩම කළහ. මෙම ධර්ම දූත පිරිසට ඉට්ඨිය, උත්තිය, සම්හල, හද්දසාල යන තෙරණුවන්ද සුමන සාමණේරයන්ද භණ්ඩුක උපාසකද ඇතුළත් වූහ. මේ පිරිස මිස්සක පව්වට පැමිණෙන විට දේවානම්පියතිස්ස රජු සහ පිරිස දඩයම් කෙළියෙහි නිරතව සිටියාහ. රජුට මිහිඳු හිමි ප්‍රමුඛ පිරිස මිස්සක පව්වේදී මුණගැසිණි. එහිදී රජු මිහිඳු හිමියන්ගෙන් බණ අසා තෙරුවන් සරණ ගියේය.
මිහිඳු හිමිපාණන් සහිත පිරිස අනුරාධපුර අගනුවරට වැඩම කරවා තම පියා වන මුටසීව රජු විසින් ඉදිකරවන ලද මහමෙව්නා උයන පූජා කළේය. සඟමිත් තෙරණිය රැගෙන ආ ජය ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව මහමෙව්නා උයනේ රෝපණය කරන ලදී. ථූපාරාමය කරවන ලද්දේ ද මෙම වකවානුවේය. මහමෙව්නා උයනේ සාදන ලද මහා විහාරය ලංකාවේ ථෙරවාදී බුදු දහමේ මූලස්ථානය විය. ථූපාරාමයෙහි බුදුන්වහන්සේන්ගේ දකුණු අකුධාතුව නිධන් කර තිබේ. මෙය සුමන සාමණේරයන් විසින් රැගෙන එන ලද්දකි. දේවානම්පියතිස්ස රාජ සමයේදී සිදුවූ තවත් වැදගත් සිදුවීම් අතර, සිංහල සාහිත්‍ය, අක්ෂර ක්‍රමය, මූර්ති කලාව, චිත්‍ර ශිල්පය, පාලි භාෂාව යනාදී විවිධ ක්ෂේත්‍රයන්ගේ දියුණුවද ආරම්භ විය. රජතුමා බුද්ධ සාසනයේ (ලංකාවේ) ප්‍රදාන දායකයා වූ නිසාත් භික්ෂුන් වහන්සේ රජුගේ ප්‍රධාන අනුශාසකයා වූ නිසාත් භික්ෂුන් වහන්සේ රජුගේ ප්‍රධාන උපදේශකයා බවට පත්වූ සේක.
මහාවංශයට අනුව ථූපාරාමය නිර්මාණය කළ සමයේදී දේවානම්පියතිස්ස රජුගේ සහෝදර අභය කුමරු 30,000ක් සමග පැවිදි වූ වග කියැවේ. වේසාලි, ද්වාරමණ්ඩල, ජාන පබ්බත, විගම, වැනි ගම් ප්‍රදේශවලින්ද උපතිස්ස ග්‍රාමයෙන්ද මේ අය පැවිදි බිමට වන්හ. මහින්දාගමනය සිදුවීම නිසා අනුරාධපුර රාජ පෙළපත භික්ෂු සමාජය සමග පැවැති සම්බන්ධකම් දේශපාලන ඉතිහාසයට බොහෝ සේ වැදගත් වේ. දේවානම්පියතිස්ස රජතුමාගේ අභාවයෙන් පසු උත්තිය, මහාසිව සහ සූරතිස්ස සහෝදරවරු පිළිවෙළින් රජකම් කළ අතර දකුණු ඉන්දියාවෙන් ආ ස්න සහ ගුත්තික යන දෙමළ ජාතිකයන් දෙදෙනා සුරතිස්ස රජු බලයෙන් ඉවත්කර අනුරාධපුර රාජ්‍යයේ පාලනය බාර ගත් බව මහාවංශයේ කියයි.
Comments
Post a Comment