gossiplanka image 1
 

ධාතුසේන රජතුමා මෞර්යය වංශ පෙළපතින් පැවත ආ ලක් ඉතිහාසයේ නොමැකෙන සේවයක් කළ උදාර රජකු ලෙසට අටුවා ටීකා අවශ්‍ය නොවේ. මෙතුමාගේ (මාමා) මෑණියන්ගේ සහෝදරයකු අනුරාධපුර දීඝසන්ද පිරිවෙණේ පැවිදිව වාසය කෙළෙන් ළමා වියේදී තමාද පැවිදි බවට පත් වූ වගක් මහාවංශයෙන් එළිදැක්වේ. උතුරුකර ඇතැම් ද්‍රවිඩ පිරිස් සිය බලය ව්‍යාප්ත කරමින් සිටියදී ධාතුසේන හිමිට හිතවත්ව සිටි සිංහලුන්ටද ඔවුන්ගෙන් හිරිහැර කරදර සිදුවීම නිසා සිංහලයන්ගේ රැකවරණය පතා සිවුරු හැර ද්‍රවිඩයන්ට විරුද්ධව කටයුතු කළ බව සඳහන්වේ. මෙතුමා රෝහණ දේශයේ හා මලය කඳුකරයේ සැගවී සිටි මහා සංඝයා වහන්සේස්ලාගේ සහයෝගය ද ලබා සිංහලුන් ඒකරාශි කර රට නිදහස් කර ගැනීමේ උතුම් උත්සාහයේ යෙදුණි. තම සහෝදර සීලාතිස්ස බෝධි කුමාරයාගේ නොඅඩු සහයෝගයද මේ සඳහා ලැබිණි. අනතුරුව රාජ වර්ෂ 455 දී තම ප්‍රතිවාදීන් පරාජය කර ධාතුසේන කුමරු රජකමට පත් වූයේය. සිංහල දේශය පරසතුරන්ගෙන් මුදවාගත් ශ්‍රේෂ්ඨ වීරයකු ලෙස ධාතුසේන රජු ජනතාවගෙන් සම්මාන ලබමින් උපායශීලී ධාර්මික රජකු ලෙසින් පාලනයෙහි ප්‍රකට වූයේය.


රට එක්සේසත් කිරීමෙන් පසු පාලන ක්‍රියාවලිය නිසි පරිදි දියත් කළ මෙතුමා පෙර සිරිතට අනුව ද්‍රවිඩයන් විසින් විනාශ කරන ලද අනුරාධපුරයේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළේය. ඊට අමතරව ප්‍රදේශයේ විහාර 18ක් කරවීය. සාසනික කටයුතුවලදී මිහිඳු පෙරහැර පැවැත්වීය. බෝධිය, බුදුපිළිම පවා අභිෂේක කරමින් දිවයිනේ පාලකයාගේ අණසකට ඉහළින් බුද්ධ ආඥාව පවතින බව තහවුරු කළේ. සාසනික කටයුතු කරමින් රටේ ආර්ථිකය දියුණු කිරීමටද මෙතුමා ඉහළින්ම දායක විය. වංශකතා තොරතුරුවලට අනුව මහා වැව් 18ක් සහ කුඩා වැව් 18ක් ඉදිකර තිබේ. කලාවැව කරවීම මෙතුමාගේ ප්‍රමුඛතම කාර්යය විය. මෙම ජලාශය සඳහා අක්කර 6380ක් යටවී ඇති අතර එහි ජලයෙන් අක්කර 7000ක වපසරියක් වගා කටයුතු සඳහා යෙදවීය. ජලය කුඹුරුවලට ගලා යෑම සඳහා ඇළවල් 04ක් සකසන ලදුව ඉන් 03ක් කලාවැවෙන්, එකක් බදුලු වැවට සම්බන්ධ කළේය. ප්‍රධාන ඇළ ලෙස සැලකෙන්නේ ජය ගඟයි. (යෝධ ඇළ) අනාවැව (පදවියවැව), මානාමතුවැව (මැද්දකැටියවැව), මා එළියවැව වැනි වැව් මෙතුමාගේ නිර්මාණය වන්නේය. ධාතුසේන රජු සමයේ රටේ ඒකීය බව මෙන්ම සාමයත්, ආර්ථික සංවර්ධනයත්, සාසනික උන්නතියත් සිදු වූ වග පැහැදිලිය. එකල අභ්‍යන්තර හෝ බාහිර ගැටුම් අරගල ඇති වූයේ නැත. රජතුමා දස අමුණක පමණ බත් දන්දීම දිනපතා සිදුවූ වගද පැරණි ග්‍රන්ථ මගින් කියයි. මෙවන් ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයකුගේ මරණය සිදු වූ අයුරුනම් ශෝකජනකය.


මහජන හිතසුව පිණිස අපපාතීව එඩිතරව ක්‍රියාකරමින් සිටි ධාතුසේන රජතුමාගේ අවසාන රාජ්‍ය වර්ෂය තුළ (455-473) පවුලේ අභ්‍යන්තර අවුල් වියවුල් ඇති වූ වගට තොරතුරු අනාවරණය වෙයි. භින්න මාතෘක කස්සප සහ සමාන මාතෘක මොග්ගල්ලාන යන පුතුන් දෙදෙනාට අමතරව තවත් එක් දියණියක් ධාතුසේන රජුට දාව සිටියහ. දියණිය ධාතුසේන රජුගේ සහෝදරියගේ පුතුට පාවා දුන්නේය. සහෝදරියගේ (නංගී) පුතුට සේනාපති පදවියක් ද ලබාදුන් බව පැවසේ. දිනක් සේනාපති බෑණා තම බිරිඳට තද ශාරීරික දඩුවම් ලබාදීම නිසා ශරීරයේ තුවාල ඇති වී ලේ පවා ගලා ගියේය. ඇගේ සිරුරෙන් ලේ ගලා යනු දුටු පියාණන් (ධාතුසේන රජු) තම නැගණිය  (සේනාපතිගේ මව) නිරුවත් කර පුළුස්සා මරණයට පත්කරන ලදී. බෑණා තම දියණියට කළ හිරිහැරය වෙනුවෙන් දඬුවම් දෙන ලද්දේ සේනාපතිගේ මවට වීමෙන් කලහයට හේතුව නැන්දා - ලේලි හබයක් බවට තහවුරු වෙයි. නැන්දා ලේලී අරගලය නිසා කෝපයට පත් සේනාපති (බෑණා) රජු කෙරේ වෛර බැඳ පලිගැනීමේ චේතනාවෙන් සිටියේය. වංශකතාවලට අනුව ධාතුසේන රජු නැගණියට දුන් දඩුවම තම චරිතය කෙළසීමට රහස් සතුරන් ගත් ක්‍රියාමාර්ගයක් බව ඇතැම්හු විශ්වාස කරති. මෙවැනිම තවත් පුවතක් ධාතුසේන රජුට එරෙහිව වංශකතාවලින් පැවසේ. ඒ නම් රජතුමා කලාවැවේ බැම්ම ඉදිකරවන විට බැම්මේ තැනක ධ්‍යාන වඩමින් සිටි රහතන් වහන්සේ නමක් ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකිවීම නිසා උන්වහන්සේ පස්වලින් යටකර වැව් බැම්ම ඉදිකර ඇති වගක් ය. රජතුමා භික්ෂු සාසනය වෙනුවෙන් කරන ලද අනුපමේය මෙහෙවරයන් ගැන සිතන විට මෙම සිදුවීම් විශ්වාස කිරීම අසීරුය. රාජ්‍ය කරවීමට අපේක්‍ෂාවෙන් සිටි කස්සප (කාශ්‍යප) පුත් මේ සිදුවීම් වෙර බැඳ සිටි සේනාපතිගේ (බෑණා) බහට කරන ලදැයි විශ්වාස කෙරේ. තම පිය රජු බිත්තියකට තබා මැටි ගසා මරවනු ලැබුයේ ද කාශ්‍යප පුතාය. මේ අනුව කීර්තිමත් ධාතුසේන රජුන්ගේ රාජ්‍ය පාලනය වසර 18 කට සීමා විය. එතුමා 473 දී මෙලොවින් සමු ගත්තේය.