gossiplanka image 1
 


දීඝගාමිණී සහ චිත්‍රා කුමරියට දාව උපන් පණ්ඩුකාභය කුමරු තෙවරක්ම ළමා වියේදී මරණීය තර්ජනයන්ට ලක්වූ අවස්ථා ඉහතින් සඳහන් කෙරිණි. චිත්‍රා කුමරියගේ ජන්ම පත්‍රයට අනුව ඇයට පිරිමි දරුවකු ලැබුණහොත් ඔහු තම මාමාවරුන් (චිත්‍රාගේ සහෝදරයන්) මරා දමනු ඇතැයි ජ්‍යොතිෂඥයෝ ප්‍රකාශ කළහ. එකී ප්‍රකාශයන් මත  චිත්‍රා නැගණිය මෙන්ම තම බෑනාද චිත්‍රාගේ පුතා) මාමාවරුන් විසින් විනාශ කිරීමට ගත් ප්‍රයත්නයන් නිෂ්ඵල වූයේය. පණ්ඩුකාභය කුමරුට ශිල්ප ශාස්ත්‍රය ලබාදුන් පණ්ඩුල බ්‍රාහ්මණයාගේ උපදෙස් හා ආධාරය මත තම ප්‍රතිවාදී මාමාවරුගෙන් බේරීමට හැකි වූයේ මුලින් සඳහන් කළ පරිදි විශේෂයෙන් පණ්ඩුකාභය කුමරුගේ උපන් කේන්ද්‍රයේ ඇති බල සම්පන්නකම නිසා විය හැකිය.  මාමාවරුන්ගේ මරණ තර්ජනයන්ගෙන් ගැලවී තරුණ වියට එළඹුණු  පණ්ඩුකාභය කුමරු ගිරිකණ්ඩ සිව නමැති මාමා කෙනකුගේ (චිත්‍රා කුමරියගේ සහෝදරයෙකු) දියණියක වූ ස්වර්ණපාලියව කරකාර කමට පැහැර ගනු ලැබීය.


ගිරිකණ්ඩ සිව පිරිසක් සමග කුඹුරක ගොයම් කපමින් සිටියදී ඔවුන්ට දිවා ආහාරය රැගෙන යමින් සිටි ස්වර්ණපාලි කුමරිය හමුවී ඇයගේ තතු විචාරා පැහැර ගැනීම සිදුවිය. මේ බව ස්වර්ණපාලි කුමරියගේ පිරිවර කාන්තාවෝ ගිරිකණ්ඩ සිවට සැල කළහ. ඔහු කිපී භට පිරිසක් යවා පණ්ඩුකාභය අල්ලා ගෙන එන ලෙසට නියෝග කෙළෙන් දෙපිරිස අතර ගිරිකඩ ගල පාමුල දැවැන්ත සටනක් සිදුවිය. ගිරිකණ්ඩ සිව, ප්‍රාදේශීය අධිපතියෙකු වූ නිසා ඔහුටද සේනාබල ඇණියක් සිටියේය. ගිරිකඩ ගල පාමුල සටනින් ජය අත්වූයේ  පණ්ඩුකාභය කුමරුටය. මේ සටන පැවති ප්‍රදේශය කලහගල නගරය ලෙස ප්‍රසිද්ධියට පත්වී මේ වන විට ඊට කහගල යනුවෙන් භාවිත කෙරේ. ස්වර්ණපාලි කුමරිය පැහැර ගැනීමේ හේතුවෙන් ඇතිවූ විරසකය ප්‍රතිවාදී මාමාවරුන් හා තවදුරටත් තීව්‍ර වූයේ හද්දකච්චායනා දේවියගේ සහෝදරයන්ගේ (රාම තිස්ස අනුරාධ මනාලී දීඝායු, රෝහණ, විජිත) සහායද ලැබුණ හෙයිනි. මීට අමතරව යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහාය ද ලැබිණි.


රාජ්‍යය ලබා ගැනීම සඳහා සටන් කරන ලද ස්ථාන අතර කලහගල නගර, ලබුජගාම, කාසපබ්බත, ධූම රක්ඛ පබ්බත, අරිට්ඨ පබ්බත යන ප්‍රදේශ සුවිශේෂී විය. උපතිස්ස රාජධානිය පිහිටි ප්‍රදේශය පළමුවෙන් තම යටතට පවරා ගැනීම පණ්ඩුකාභය කුමරුගේ ජයග්‍රහණයේ සංකේතයක් විය. අනතුරුව අනුරාධ ග්‍රාමයට පැමිණ එකී ප්‍රදේශය හා එකතු කර රට තුළ ඒකීය පාලන ක්‍රමයක් ඇති  කිරීමට සැලසුම් සම්පාදනය කෙළේය. අනුරාධපුරය තම රාජධානිය ලෙස තෝරාගෙන ක්‍රි. පූ. 437 - 367 දක්වා වසර 70 ක් රජකම් කරන ලදී. පණ්ඩුකාභය රජුගේ කැපී පෙනෙන ලක්ෂණයන් අතර අපක්ෂපාතීත්වය, කළගුණ සැලකීම්, එඩිතර බව, අධිෂ්ඨානශීලීත්වය. සංවිධාන හැකියාව සහ උපායශීලී බව සුවිශේෂී වන්නේය. මෙතුමා අනුරාධපුර නගරය සැලසුම් සහගත නිර්මාණාත්මක නගරයක් බවට පත් කරන ලද්දේ, සිව් දෙසින් වාහල් දොරටු සතරක් ඉදිකිරීම, නගර සීමා නිර්ණය කිරීම, නගරය වටේට දිය අගලක් සැකසීම, නගරයේ ආරක්ෂාව උදෙසා දිවා රාත්‍රි සේවයට නගර ගුත්තික නමින් නිලධාරි පිරිසක් යෙදවීම, පූජනීය සිද්ධස්ථාන සුදුසු ස්ථානවල ඉදිකිරීම, උද්‍යාන හා මාර්ග පද්ධති සැකසීම, සෞඛ්‍ය සේවා පහසුකම් සැපයීම, ජල සම්පාදනය, සුසාන කටයුතු සඳහා භූමි වෙන් කිරීම වැනි මහජන සේවා අංශ උදෙසාය.


නගර ශෝධකයන් කැළි කසල ඉවත් කරන්නන්, මළ සිරුරු බැහැර කරන්නන් නගර ගුත්තිකයන් යනාදී වශයෙන්  අනුරාධපුර අගනුවර පාලනයට උචිත නිල මණ්ඩලයද පත්කර ගනු ලැබීය. අදත් පළාත් පාලන ආයතන ලෙස සැලකෙන මහ නගර, නගර, ප්‍රාදේශීය සභාවල බීජය වූයේද පණ්ඩුකාභය රජුන්ගේ ගම් සභා ක්‍රමයයි. පණ්ඩුකාභය රජතුමා විසින් අභය වැව, ගැමුණු වැව, ජය වැව යනාදී වශයෙන් වැව් කීපයක් ඉදිකර ඇති බවට තහවුරු කෙරෙන අතර, අභය වැව ලෙස බසවක්කුලම වැව හඳුනාගෙන තිබේ. විවිධ ආගම් අදහන උදවියට සමානව සැලකීම හා එවකට පැවති පැරණි ගෝත්‍ර අතර සුහදත්වය වර්ධනය කළ වගද පැවසෙයි. තමාට ළදරු වියේ සිටම රැකවරණය සැලසීමට මහත් කැපවීමක් කළ චිත්තරාජ සහ කාලවේල යන යක්ෂයන් දෙදෙනාට සම තත්වයේ සැලකිලි දැක්වූ අතර, ඔවුන්ට දේවාල ඉදිකර දුන්නේය. චේතියා නම් යකින්නියක් වෙළඹක වේශයෙන් තම විරුද්ධකාරයන් මැඬලීමට දුන් සහාය නිසා ස්වේතියා නමින් උයනක් කරවීය. නිගණ්ඨයන්ට ආරාම ඉදිකර දුන්නේය. පණ්ඩුකාභය රජකමට පත්වන විට වසර 17 ක් මුළුල්ලේ රට අරාජික තත්වයකට පත්ව තිබුණි. ඒ පඬුවස්දෙව් රජුන්ගේ දෙවැනි පුත් තිස්සගේ රාජ්‍ය පාලන කාලය තුළය. ඉතිහාස ග්‍රන්ථවලට අනුව ඒ කාලය තුළ ගණතිස් නම් රජකු සිටි බවද කියැවේ.  ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා මෙතුමා දියත් කළ පාලන ක්‍රියාවලිය පැසසුම් සහගතය. වසර 70ක් තරම් දීර්ඝ  කාලසීමාවක් අනුරාධපුරයේ රජකම් කිරීමට පණ්ඩුකාභය රජුට හැකි වූයේ එතුමාගේ අපක්ෂපාතීත්වය හා ධෛර්ය සම්පන්න තාවය නිසාය. එසේම මෙතුමාට ඉන්දියාව සමග සමීප සම්බන්ධතා ගොඩනංවා ගැනීමට උපායශීලීකමද තිබිණි. පණ්ඩුකාභය රාජාවලියේ අනුරාධපුරයේ මුල්ම (පළමු) රජු වීමේ භාග්‍යය ද සුවිශේෂී වන්නේය. රටේ හැම ජන කොටසකගේම ආගමික නායකයන්ගේ හා තම සේවාදායකයන්ගේද, හොඳ හිත විශ්වාසය උපරිමයෙන් දිනා වසර  70 ක් පාලනය කිරීමේ භාග්‍ය උදාකර ගැනීම විශ්මිත කාර්යයක් වන්නේය.