gossiplanka image 1
 


1. ඇග සුදුමැලි වී ඇත්නම් එය රක්තහීනතාවය යැයි සිතා ෆාමසියෙන් විටමිනයක් ගෙන ගිලීම වැරදියි.

2. රක්තහීනතාවය යනු රෝග ලක්ෂණයක් පමණයි.

3.ඇගේ ලේ අඩු වී ඇත්තේ කිනම් රෝගයක් නිසා දැයි විනිශ්චය කිරීම වෛද්‍යවරයෙකුට භාරදෙන්න. එය සුළු රෝගයක් නිසා මෙන්ම භයානක රෝගයක් නිසාද විය හැකියි.


සාමාන්‍ය වැඩිහිටියෙකුගේ සිරුර තුළ ලේ පයින්ට් අටක් පමණ ඇත. සංවෘත වූ රුධිරවාහිනි පද්ධතිය තුළ ඇති මේ රුධිරය හෘදය වස්තුව මගින් සිරුර පුරා පිහිටි පටක කරාත් ඉන්පසුව නැවතත් හෘදය වස්තුව කරාත් ධාවනය වෙමින් පවතී. මෙම රුධිර ධාවනය නැවතී මිනිත්තු කිහිපයකින් පටක වලත් මිනිසාත් මරණය සිදුවෙයි.  රුධිරයෙහි රතු පැහැයට හේතු වී ඇති සංඝටකය කුමක්දැයි ඔබ දන්නවාද? ඒ තමයි රතු රුධිරානු හෙවත් රතු රුධිර සෛල, තවත් නිවැරදිව කියනවා නම් රතු රුධිර සෛලවල රතු පැහැයට හේතු වී ඇත්තේ ඒවා තුළ පිහිටි හිමොග්ලොබින් නම් වර්ණකයයි.


රතු රුධිරානු වලින් කෙරෙන කාර්යය කුමක්ද?


අප හුස්ම ගන්නා විට පෙනහළු කරා ඇදී එන වාතයෙහි අඩංගු ඔක්සිජන් නම් වායුව රතු රුධිරානුවල පිහිටි හිමොග්ලොබින් වර්ණකය මගින් උරාගෙන නැවත හෘදය වස්තුවට ගොස් එහි සිට ශරීරය පුරා පිහිටි පටකවල සැම සෛලයක් කරාම

බෙදා හරිනු ලැබෙනවා.



හොඳයි, අවශ්‍ය තරමට රතු රුධිරානු හෝ හිමොග්ලොබින් වර්ණකය අප සිරුර සතුව නැත්නම් කුමක් වෙයිද?


ඒ තත්වයට කියන්නේ නීරක්තිය කියල. සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ

' පාණ්ඩුව' කියල. හිමොග්ලොබින් වර්ණකය අඩු වීම නිසා ශරීරයේ රතු පැහැය අඩු වී සුදුමැලි වෙනවා. ලෙහෙසියෙන් මහන්සි ගතිය දැනෙනව. මලානික වෙනවා. කරකැවිල්ල, හිසරදය ඇති වෙනවා. සමහර විට පපුවේ වේදනාවක් හට ගන්නව. හෘදය වස්තුව වේගයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒනිසා යම් වැඩක් කරන විට පපුව ගැහෙන්න පටන් ගන්නවා. අත්ල, පත්ල, හිස, දිව සහ ඇසිපියෙහි ඇතුල් පැත්ත කහවන් සුදු පැහැයක් හෙවත් පාණ්ඩු පැහැයක් ගන්නවා. සමහර විට කකුල් ඉදිමී හිරි වැටෙන්නටත් පුළුවනි. නිය ලෙහෙසියෙන් කැඩෙන සුළු ස්වභාවයකට පත්වීම පමණක් නොව ඒවා මැදින් වක ගැසී තුනී වන්නත් පුළුවනි.


රක්තහීතාවය හෙවත් ආණ්ඩුවට හේතුව?


එක හේතුවක් නොවෙයි. හේතු කිහිපයක්ම තිබෙන්නට පුළුවනි.


 1. රතු රුධිරානු වර්ධනයට අවශ්‍ය වන යකඩ, විටමින් බී.

සහ ෆෝලික් අම්ලය වැනි ශුද්‍ර පෝෂක ශරිරයට ආහාරයත් සමග නිසි ප්‍රමාණයට නොලැබී යාම රක්තහීනතාවයට ප්‍රධානතම හේතුවයි.


2 යම් හෙයකින් රතු රුධිරානු නිපදවන ඇට මිදුළු රෝගීවීමත් ලියුකීමියා රෝගය වැළඳුණ විටත්, වකුගඩු ක්‍රියා විරහිත වූ විට සහ පිළිකා රෝගී තත්වයන් ඇති වූ විටත් රක්තහීනතාවය ඇති විය හැකියි.


3.කාන්තාවන්ගේ මාස් ශුද්ධිය හෙවත් ආර්තව රුධිර වහනය වැඩිපුර සිදුවන්නේ නම්, මිනිසුන්ට වැළදෙන අර්ශස් රෝගය නිසා අධික වශයෙන් ගුදයෙන් රුධිර වහනය සිදුවන්නේ නම්, කොකු පණුවන් බඩවැලේ එල්ලී ලේ උරා බොන්නේන්නම් හෝ සිරුරේ ඇති වූ යම් තුවාලයකින් අධිකව රුධිරය ගලයි නම් එයද රක්තහීනතාවයට තුඩු දිය හැකියි.


4. අප සිරුර තුළ රුධිරාණු නිපදවීම සහ කලක් ගිය පසු ඒවා විනාශ වී යාම නිරතුරුවම සිදුවෙයි. රතු රුධිරානු නිෂ්පාදනය අඩු වූ විට මෙන්ම ඒවා විනාශ වීම අධිකව සිදුවන්නේ නම් එවිටද රක්තහීනතාවය ඇති විය හැකියි. හැඩය වෙනස් වූ රතු රුධිරානු ඇති වීම (උදා : Sickle Cell Anaemia eso Thalasaemia) සහ ප්ලීහාන ඉදිමුණු විටද (Hyper Splenism) රක්තහීනතාවය ඇති වෙයි.


අපේ අම්මාට හන්දිපත් රුදාව. ප්‍රතිකාර වශයෙන් ගනේ ඇස්පින්. ටික කලක් යන විට අම්මා සුදුමැලි වුණා. දොස්තර මහත්තය පරික්ෂා කර බලල කිවා ඇස්පින් නවත්වන්න කියල. සුදුමැලි වුණේ ඒ නිසාලු. ඇස්ප්‍රීන් හා රක්තහීනතාවය අතර සම්බන්ධය කුමක්ද?


ඇළින් පමණක් නොවෙයි. හන්දිපත් රුදාවට දෙන බොහෝ ඖෂධ වර්ග නිසා ආමාශයේ සහ ආහාර මාර්ගයේ තුවාල ඇති වී ලේ ගලන්නට පුළුවනි. කලක් යන විට ලෙඩාත් නොදැනුවත්වම ඇග සුදුමැලි වී රක්තහීනතාවය ඇති වෙන්නට පුළුවනි. ඒ නිසයි ඇස්පින් ගැනීම නවත්වන්න කියන්න ඇත්තේ.


රක්තහීනතාවය හෙවත් ආණ්ඩුවෙන් පෙළෙන්නන්ගේ රෝග ලක්ෂණ ගැන දැනටමත් මම දන්නවා. ඇග සුදුමැලි වී ඇත්නම්, ඈලිමෑලි දුබල ගතිය දැන්නේ නම්, ඇග ලේ වඩන විටමින් බෝතලයක් ෆාමසියෙන් අරගෙන බිව්වම හරින්නේ..?


ඒක වැරදියි. එහෙම කරන්න එපා. මොකද දන්නවද? රක්තහීනතාවය ඇති වීමට හේතු වන සාධක රාශියක්ම තියෙනවනේ.  ඒ නිසා රක්තහීනතාවයෙන් පෙළෙන්නන් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරවා ගත යුතුමයි. එයට හේතුව පරික්ෂණ මගින් හඳුනාගත යුතුයි. රක්ත හීනතාවයේ මට්ටම හඳුනා ගැනීම සඳහා රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය මැන බැලිය යුතුයි. රක්තහීනතා

වර්ගය හඳුනා ගැනීමට රුධිර සෛල අන්වීක්ෂයෙන් පරික්ෂා කර බැලිය යුතුයි.


රෝගී තත්වය ඇති වීමට හේතු වූ රෝග නිධානය හඳුනා ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා ඔබේ ආහාර පාන ගැන විමසාවි. කාන්තාවන් නම් ආර්තව රුධිර වහනය පිළිබඳව විමසාවි. අර්ශස් රෝගයෙන් පෙළෙන්නේ දැයි අසා ආමාශයේ හෝ බඩවැලෙන් රුධිර වහනයක් සිදුවේ දැයි දැන ගැනීමට ඔබ භාවිතා කරන ඖෂධ ගැන විමසාවි. කොකු පණු රෝගය තිබේයි දැන ගැනීමට ඒ පිළිබඳව විමසාවි. සමහර විට මළපහ සාම්පලයක් පරික්ෂා කරවා පණු බිත්තර ඒවායේ තිබේ දැයි සොයා බලාවි. අවසානයේ රක්තහීනතාවය කිනම් හේතුවක් නිසා ඇති වූවාදැයි වෛද්‍යවරයා විසින් තීරණය කරාවි. රෝග විනිශ්චයට අනුවයි ප්‍රතිකාරය, හැම කෙනෙකුටම විටමින් බෝතලයක් නියම කරන එකක් නැහැ.


අධික රක්තහීනතාවයෙන් පෙලේ නම් සිරුරට ඉක්මණින් ලේ ලබා දේවි. (රුධිර පාරවිලනය කරාවි) පෝෂක ඌණතාවයක් නම් (යකඩ, ෆෝලික් අම්ලය, විටමින් බී 12 වැනි) එම පෝෂක නික්ෂේපන පෙති හෝ සිරප් මගින් ලබා දේවි. රක්තහීනතාවයට හේතුව රුධිර වහනයක් නම් එය නතර කිරීම සඳහා ප්‍රතිකාර කරාවි. පිළිකාවක්, ලියුක්බියාවක් හෝ වෙනත් රෝගී තත්වයක් ඇත්නම් ඊට පිළියම් කරාවි.


අවුරුදු 4 ක් වයසැති මගේ දරුවා පෝෂණ නිරක්තියෙන් පෙළෙන බව ළමා සායනයේදී වෛද්‍යවරයා කීවා. පණු රෝගයන්ගෙන් පෙළෙන බව පවසා පණු ප්‍රතිකාර පෙතිත් ලබා දුන්නා. කහපාට සහ දුඹුරු පාට පෙති වගයකුත් දුන්නො. දරුවාගේ මන්දපෝෂණ තත්ත්වය මගහරවා ගැනීමට ගතයුතු පියවර ගැන උපදෙස් දෙන්න පුළුවන්ද?


කුඩා දරුවන්ට රක්තහීනතාවය ඇති වීමට ප්‍රධානතම හේතුව ආහාරයේ ඇති යකඩ සහ විටමින් ඌණතාවයයි. බඩවැලෙහි කොකුපණුවන් ඇති වීම නිසා මේ තත්වය උග්‍ර අතට හැරෙන්නට පුළුවනි. සායනයේ ලබාදුන් ප්‍රතිකාරයට අමතරව ඔබේ දරුවාට කරවල, මාළු, මස්, සෝයා, කොළ වර්ග, මුං ඇට, උළුදු වැනි මාංශ බෝග සහ තම්බපු නිවුඩු හාලින් පිසූ බත් ආහාරයට දෙන්න. කෑමෙන් පසු ඉදුණු අලුත් පළතුරු කෑමට ගතහොත් ඒවායේ විටමින් සී ඇති නිසා යකඩ ධාතු ශරීරයට පහසුවෙන් උරා ගනීවි. යකඩ පෙති සමඟ විටමින් සී පෙති දෙනෙත් බඩවැලේදී යකඩ උරා ගැනීම පහසු කරවීමටයි. කොකු පණු රෝගය නිසා ඇති වන ලේ හිඟකම වැළැක්වීම සඳහා දරුවා ඇතුළු පවුලේ සියලු දෙනාම සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි භාවිතයට පුරුදු වන්න. කොකු පණුවන් යටි පතුල් හරහා ශරීරයට ඇතුල් වීම වැළැක්වීමට නිතර පාවහන්, සෙරෙප්පු, පළඳින්න. පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම එකවර කොකු පණු ප්‍රතිකාරය ලබා දෙන්න.