2.සමහර ඖෂධ වර්ග නිසා ද මලබද්ධය ඇති විය හැක.
3. ඉවත් බවක් නැතිව විරේක පෙති ගැනීම භයානකයි.
මලබද්ධය හෙවත් බඩ වේලුම ගැන ශ්‍රී ලාංකියන් වන අප දක්වන්නේ දැඩි අවධානයකි. උනන්දුවකි. දිනපතා හොදින් මලපහ වීම නිරෝගිකමේ ලක්ෂණයක් ලෙස බොහෝ අය සලකති. දිනපතා මලපහ නිසා ආහාර මාර්ගය තුළ එකතු වන අප ද්‍රව්‍යවල විෂ ලේලට උරාගෙන සිරුරට අපහසුතාවයකුත් ලේවට උරාගත් විෂ හිසට (මොළයට) ගැසීමෙන් හිසරදය සහ මානසික තත්ත්වය අවුල් වියවුල් වන බව විශ්වාස කරන මිනිසුන් තවමත් අප සමාජයේ සිටිති. එය ගස් යට විරේක පෙති විකිණීම ජීවිකාව කරගත් හොර දොස්තරවරුන් විසින් ජනතාවගේ හිස් ගෙඩි තුළට ඇතුල් කළ විශ්වාසයකි. එම විශ්වාසයේ නම් කිසිදු සත්‍යයක් නැති බව කිව යුතුමය. සමහර අයට දින 2 - 3 කට වරක් ස්වාභාවික ලෙස මලපහවීම සිදුවීමට පුළුවන. කලාතුරකින් සතියකට වරක් වුවද මලපහ කරන නිරෝගි මිනිසුන් ද සිටිති.
එතකොට මලබද්ධය කියන්නේ මොකක්ද?
මලබද්ධය පිළිබඳ අර්ථකථනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මලපහ කරන විට කිසිදු අපහසුවක් නැති මෘදු වූ මල ඔබ සෑහීමකට පත්වූ අයුරින් ඉවත් වූවා නම් ඔබට මල බද්ධයක් නැත. එහෙත් වෙනදා මලපහ වූ ආකාරයට වඩා වෙනස් වී දින ගණන් පසුවී මලපහ වන්නේ නම් ද, එම මලපහ වෙනදාට වඩා ගන වී ඇත්නම් සහ මලපහ කරන විට අපහසුතාවයක්, වේදනාවක් ද දැනෙන්නේ නම් ඒ මලබද්ධය නිසා විය හැකිය. වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ ඉහත සඳහන් රෝග ලක්ෂණ හටගත්තොත් පමණි. එසේ නැතිව ආවාට ගියාට විරේක පෙති සහ ඖෂධ ගැනීම නම් අනුවණකමකි. ඔබ දන්නවාද? හිතුමන්ට විරේක පෙති සහ ඖෂධ වර්ග ගැනීම නිසා මහ බඩවැල දුර්වල වීමේ හේතුවෙන්ද මලබද්ධය ඇති විය හැකියි. එබැවිනිවිරේක ඖෂධ ගත යුත්තේ ද කල්පනාවෙනි.
අපේ බඩවැලේ ක්‍රියාකාරිත්වය ගැන පොඩි විස්තරයත්කළොත්?
අපේ කටට දමා ගන්නා ආහාර කැබලි හා දියර වර්ග සියල්ලම ආහාර මාර්ගයේදී ජීර්ණ ක්‍රියාවලියට ලක්වෙයි. අවසානයේදී ඒවා ප්‍රෝටීන, සීනි, තෙල් සහ ඛනිජ ලවණ බවට පත්වී රුධිරවාහිනි තුළට උරා ගනී. ආමාශයේ ඇති ආලික මාධ්‍ය තුළ ප්‍රධාන ජීර්ණ ක්‍රියාවලිය ඇරඹෙන අතර ජීර්ණය වූ ආහාර අවශෝෂණය ප්‍රධාන වශයෙන් සිදු වන්නේ කුඩා අන්ත්‍රය (කුඩා බඩවැල) තුළය. ආහාරයේ ඉතිරි වූ රොණ්ඩ මහාන්ත්‍රය කරා ගමන් කරන අතර එහි ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ ජීරණයට ලක් නොවූ කෙඳි වර්ග සහ අප සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියේදී ඉවත් වූ කැඩී බිඳී ගිය රතු රුධිර සෛල, පිත්තාශයේ හටගත් පින්ත වර්ණක සහ ජලයයි. මහාන්ත්‍රය හෙවත් මහ බඩවැලේ පිහිටා ඇති පේශීන් සංකෝචනය වීම මගින් මළපහ ගුදය දෙසට තල්ලු වී යයි. මෙසේ තල්ලු වී යන අතරේදී මලවල ඇති ජලය තවදුරටත් මහාන්ත්‍රයට උරා ගැනීම නිසා මලපහ ඝන බවට පත්වේ. මලපහවල මෘදු බව ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ එහි ඇති තන්තු ප්‍රමාණයයි.
අප පානය කරන ජල ප්‍රමාණය අඩු නම් හෝ අධික ව්‍යායාම නිසා හෝ හිරු එළියේ දින ගත කිරීමේ හේතුවෙන් අධික වශයෙන් දහදිය දැම්මා නම් මහ බඩවැලෙන් මලපහවල ඉතිරිව ඇති ජලය සියල්ලම උරා ගැනීම නිසා මල අධික ලෙස ඝන වී මලපහ කිරීමට අපහසුවීමටද පුළුවනි. එමෙන්ම අප ගන්නා ආහාරවල තන්තුමය කොටස් (ශාක කොටස්) අඩු නම් එයද මලබද්ධය ඇතිවීමට හේතු විය හැකිය. මේ අනුව බලන කළ පළතුරු, පළා කොළ සහ එළවලු හා නිවුඩු හාල් වැනි කෙඳි සහිත ආහාර වර්ග ගැනීමත්, ජලය ඇති තරම් පානය කිරීමත්, නියම තරමට ව්‍යායාම ගැනීමත් මගින් නිරෝගී අයට මලබද්ධය ඇතිවීම වළක්වා ගත හැකිය.
මම වයස අවුරුදු 40 ක් වයසැති කාන්තාවක්ම. මට බඩ වේලීම සහ බඩ බුරුල්වීම මාරුවෙන් මාරුවට කලක් තිස්සේ සිදු වෙනවා. යටි බඩේ වම්පස වේදනාවකුත් වරින්වර ඇති වෙනවා. ඒකට හේතුව කුමක් වෙන්න පුළුවන් ද?
ඔබට වැළදී ඇ ත්තේ Irritable Bowel Syndrome (IBS) නමැති රෝගය වෙන්නට පුළුවනි. ඔබ කියූ රෝග ලක්ෂණවලට අමතරව බඩ පිපුම් ගතිය සහ ඔක්කාරයත් එහිදී ඇති විය හැකිය. IBS රෝගී තත්වය ඇති අයට මලපහ කිරිමෙන්පසුවත් නැවත මලපහ කිරීමේ අවශ්‍යතාවය දැනේ. සමහර විට මලපහවල හැඩය වෙනස් වී සිහින් පැතලි දිගටි රිබන් ස්වරූපයක් ගත හැක. මලපහ සමග රුධිරය පිටවීමටද පුළුවන. කාන්තාවන්ට වැඩිපුර ඇතිවන මෙම රෝගී තත්වය සිත් තැවුල් කරදර ඇති කාලයන්හිදී උත්සන්න විය හැක. IBS නමැති රෝගී තත්ත්වය බොහෝ විට කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගික පද්ධතිය හා සම්බන්ධ රෝග, ආමාශයේ තුවාල සහ
ඇපැන්ඩිසයිටිස් රෝගය සමග වරදවා තේරුම්ගත හැක. මල මුත්‍ර හා රුධිර පරික්ෂණ සහ Sigmoidoscopy පරික්ෂාව (ගුද මාර්ගය තුළට බටයක් වැනි උපකරණයක් ඇතුලු කර කරන පරීක්ෂාව) කළ පසුවත් වෙනත් රෝගයක් නොමැති බව ස්ථිරව දැන ගැනීමෙන් පසුව ඔබට වැළදී ඇ ත්තේ IBS බව තීරණය කිරීමට පුළුවනි.
දියවැඩියා රෝගය ඇති අයටත් ඔබ කියූ ආකාරයට මලබද්ධය සහ පාචනය මාරුවෙන් මාරුවට ඇති විය හැකියි. අවුරුදු 50 ට වැඩි කෙනෙකුට ඔබ කියූ රෝග ලක්ෂණ පහළ වන්නේ නම් එය මහාන්ත්‍රයේ ඇති වූ අර්බුදයක් (පිළිකාවක් හෝ
පොලිප් නමැති ගෙඩි) වීමටද පුළුවන.)
මම අවුරුදු 35 ක් වයසැති ලිපිකරුවෙක්මි. මලබද්ධය අවුරුදු ගාණක් තිස්සේ පවතිනවා. හේතුව කුමක් විය හැකිද?
තන්තු අඩු ආහාර කලක් තිස්සේ ගැනීම එක් හේතුවක්. සිරුරට අවශ්‍ය තරම් ජලය පානය නොකිරීමත් තව හේතුවක්. ව්‍යායාමයෙන් තොරව අලස ජීවිතයක් ගත කිරීමත් තවත් හේතුවක්. කලක් තිස්සේ විරේක පෙති භාවිතා කිරීම නිසා මා කලින් සඳහන් කළ ආකාරයට මහාන්ත්‍රයේ පේශීන් දුර්වල වී යාමේ හේතුවෙනුත් කල්පවතින මල බද්ධය ඇති විය හැකියි.
සමහර රෝගී තත්වයනට ගන්නා ඖෂධ වර්ග නිසා මලබද්ධය ඇති විය හැකිද?
ඔව්. වැඩිපුරම මලබද්ධය ඇති වන්නේ කෝඩේන් (Codein) අඩංගු වේදනා නාශක ඖෂධවලටයි. කෝඩේන් අඩංගු තවත් ඖෂධ වර්ගයකි කැස්සට භාවිතා කරන සිරප් වර්ග. මෝෆීන් නමැති ප්‍රබල වේදනා නාශක ඖෂධ (හෙරොයින් හා අබිංද අයත් වන්නේ මේ කාණ්ඩයටය) නිසාත් මලබද්ධය ඇති විය හැකියි. අධි රුධිර පීඩනය පාලනය කිරිමට භාවිතා කරන වෙරපමින් (Verapamil) නමැති ඖෂධය සහ ප්‍රෝපැනලෝල් නැමැති Beta Blokers කාණ්ඩයට අයත් ඖෂධයන් නිසාත් මළබද්ධය ඇති විය හැකියි. මානසික අවපීඩනයේදී භාවිතා කරන සමහර TCA (Tri Cyclic Antidepresents) ඖෂධ නිසාත් බොහෝ අයට මලබද්ධය ඇති වේ.කැල්සියම් අඩංගු ඖෂධ සහ යකඩ අඩංගු ඖෂධ නිසාත් මලබද්ධය ඇති විය හැකිය. සමහර සමනක (Sedatives) වර්ග සහ ප්‍රති අම්ල (Antacids) භාවිතා කරන අයටත් මලබද්ධය ඇති විය හැකිය. ඔබේ වෛද්‍යවරයා හමු වී ඒ බව පැවසුවහොත් ඔහු ඖෂධ මාත්‍රාව වෙනස් කිරීම හෝ වෙනත් ඖෂධයකට මාරු කිරීම කරාවි.
මලබද්ධයට අමතරව මලපහවල වර්ණය වෙනස්වීමට හේතු මොනවාද?
මලපහ සමග තද රතු පැහැති රුධිරය පිටවන්නේ නම් ඒ බොහෝ විට අර්ශස් රෝගය (Piles) නිසා විය හැක. IBS රෝගය නිසාත් Ulcerative Colitis හෙවත් Crohn's Disease නැමැති මහාන්ත්‍රය වණවීමේ රෝගය නිසාත් මහ බඩවැලේ හටගන්නා සමහර ගෙඩි සහ පිළිකා වර්ග නිසාත් මලපහ සමග රතු පැහැ රුධිරය පිටවිය හැකිය. ආමාශයේ සහ කුඩා අන්ත්‍රයේ තුවාල වීමත් නිසා රුධිර වහනයක් සිදු වූවා නම් ඒ නිසා හට ගන්නා මලපහ කළු තාර ස්වභාවයක් ගනු ඇත. යකඩ අඩංගු පෙති වර්ග සහ සිරප් වර්ග පානය කිරිම නිසාත් මලපහ වර්ණය කලු පැහැයට හැරෙන්නට පුළුවනි.
මලපහ කරන විට ගුදයෙහි අධික වේදනාවක් හටගනී. එයට හේතුව?
ප්‍රධාන වශයෙන් හේතු 2 ක් විය හැකිය. එකක් අර්ශස් ගෙඩි, දෙවැන්න Anal Fissure හෙවත් ගුදයේ කෙළවර ඉරී ගියා සේ ඇති වන තුවාල. මලපහ කරන විට අධික වේදනාවක් ඇතිවන නිසා එම රෝගීන් බොහෝ විට මලපහ කිරීමට අකැමැතියි. ඒ නිසාම මලබද්ධය ඇති වේ.
මම මලපහ කරල අවසන් වූ පසුවත් නැවත මලපහ කිරීමේ හැගීමක් ඇති වේ. එහෙත් නිසි අයුරින් මලපහ නොවේ. එයට හේතුව කුමක් විය හැකිද?
මෙය මා කලින් කියූ පරිදි IBS රෝගය නිසා සිදු විය හැකිය. ගුද මාර්ගයෙන් හටගත් ගෙඩියක් නිසාත් එවැනි හැඟීමක් ඇතිවිය හැකියි.
මගේ අම්මාගේ වයස අවුරුදු 65 යි. පසුගිය දිනවල මහත් ඒ වුණා. ඒ වගේම මලබද්ධයත් ඇති වුණා. ඒක විශේෂ රෝගී තත්ත්වයක්ද?
ගෙලෙහි පිහිටි තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි අයුරින් ක්‍රියා නොකිරීම නිසා Hypothyoidism නමැති ත ත්ත්වය හට ගැනීමට පුළුවනි. එහිදී ශරිරයේ බොහෝ ක්‍රියාකාරිත්වයන් අඩාල වී යයි. ශීතල දරා ගැනීමට නොහැකියාව, නාඩි වේගය අඩුවීම, හම ගොරෝසු වී දහදිය දැමීම අඩුවී යාම සහ මානසික අවපීඩනය මෙම රෝගයේදී මලබද්ධයට අමතරව හට ගන්නා අනෙක් රෝග ලක්ෂණයි.
තයිරොයිඩ් හෝමෝනය පෙති වශයෙන් නිතිපතා ලබාදීම ප්‍රතිකාරයයි.
හොඳයි මලබද්ධයත් සමග ශරීරයේ බර කෙටි කලක් තුළ අඩු - වී ගියහොත් ?
එය වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතු තත්වයක්. එය භයානක රෝගයක පෙර නිමිත්තක් විය හැකියි. අට අවුරුදු 50 වැඩි අයෙක් නම් බොහෝ විට එය පිළිකාවක් විය හැකියි. දියවැඩියාව රෝගය නිසාත් ඔබ කියූ අයුරින් ඇඟ කෙට්ටුවීම සහ මල බද්ධය ඇති විය හැකියි. මානසික අවපීඩනය නිසා ඇඟ කෙට්ටුවීමත්. මලබද්ධය ඇතිවීමටත් පුළුවනි.
නිවසෙන් බැහැර ගමනක් ගිය විට මට අනිවාර්යයෙන්ම මලබද්ධය ඇති වෙනවා, ඒ ඇයි?
බොහෝ අය හිතන්නේ භාවිතා කරන වතුර වෙනස් නිසා කියලයි. හේතුව එය නොවේ ඔබේ දින චර්යාව වෙනස් වීමත්, මානසිකව ඇති වූ ආතතියත් ගමන් තෙහෙට්ටුවත් එයට හේතුවයි. නුපුරුදු වැසිකිළිය සහ ඉන් වහනය වන දුගඳද ඔබේ මලබද්ධයට හේතු වූවා විය හැකියි. ව්‍යායාමය අඩුකම එසේ වීමට තවත් හේතුවකි.
දුම්පානය අත්හැරියට පසුවයි මට මලබද්ධය ඇති වුණේ. ඒ ඇයි?
දුම්පනයේදී පෙනහලුවලට ඇතුල්වන නිකොටින් නමැති රසායනික ද්‍රව්‍ය මඟින් ආහාර මාර්ගයේ ක්‍රමාකුංචන සංකෝචන උ ත්තේජවත් කරයි. එමඟින් මලපහ කිරීමට පහසු කරවයි. ඉතින් දුම්පානය නැවැත් වූ විට ටික දවසක් යනතුරු මලබද්ධය ඇති විය හැකියි. ඉතින් නැවත දුම්පනය පටන්ගන්න එපා. ඒ වෙනුවට ඊළඟ ප්‍රශ්නයට සැපයෙන පිළිතුරේ අඩංගු කරුණු පිළිපදින්න.
විශේෂ රෝගයක් නොමැති එහෙත් මලබද්ධයෙන් පමණක් පෙළෙන්නන්ට දිය හැකි උපදෙස් මොනවාද?
තන්තු අධික ආහාර වැඩිපුර අනුභව කරන්න. වතුර වැඩිපුර බොන්න. නිතිපතා ව්‍යායාමයෙහි යෙදෙන්න. අනවශ්‍ය ලෙස (වෛද්‍ය උපදෙස් නොමැතිව) විරේක පෙති ගැනීමෙන් වලකින්න
Comments
Post a Comment