කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන් බහුල ප්‍රදේශයකි. මේ නිසාම ස්වයං නිරෝධායනයට ලක්වූ පවුල් ද එහි හිඟ නොවීය. එම පවුල්වලට රජයෙන්, ප්‍රාදේශීය සභාවෙන් හා හිතවතුන්ගෙන් ලැබෙන බඩු මලු ද අඩුවක් නොවීය. ඔහු ස්වයං නිරෝධායනයට ලක්නොවුන ද ස්වයං නිරෝධායනයට ලක්වූ පවුල්වලට ලැබෙන බඩු මලුවලට ලොබ බැඳගත්තේය.
මිතුරකු දුන් ලණුවක් අනුව ඔහු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමුවීමට ගියේ ‘ස්වයං නිරෝධායනයට ලක්වූ නිවසකි’ යන දැන්වීමක් ලබා ගැනීමටය. ඒ ඔහු සිය භාර්යාවගේ කනේ කරාබු ජෝඩුව උකසට තබා මිලට ගත් වටිනා අරක්කු බෝතලයක් ද රැගෙනය. මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට සිය කාරණය කීවේ රැගෙන ගිය මත් පැන් බෝතලය ද ඔහු අතට දෙමිනි. සෞඛ්‍ය පරීක්ෂක මහතාට අසූ හාරදහසටම කේන්ති ගියේය. ඔහු දුන් අරක්කු බෝතලය සෞඛ්‍ය පරීක්ෂක මහතා පොළොවේ ගැසුවේ දෑහෙට නොපෙනී යන ලෙසට ද ඔහුට තර්ජනය කරමිනි.
තමාගේ කරාබු දෙක ද උකසට තබා හිස් අතින් ගෙදර පැමිණුනු ඔහු දුටු භාර්යාවට යකා වැහුණි. ඒ සමගම භාර්යාව ඔහු සිය නිවසින් පිටමං කළේ කොහෙන් හෝ මුදල් සොයාගෙන තමාගේ කරාබු දෙක බේරා දෙන ලෙසට බල කරමිනි.
රාත්‍රිය ද උදාවෙමින් තිබිණි. කර කියා ගත හැකි දෙයක් නොවූ තැන ඔහු සිය විහාරස්ථානයේ බණ මඩුවේ පිහිට පැතුවේය. බණ මඩුවේ සිට භාර්යාවගෙන් බේරී නිරෝධායනය වෙමින් සිටි ඔහු කල්පනා කළේ භාර්යාවගේ උකසට තැබූ කරාබු දෙක බේරා ගන්නා සැටිය. අනුන්ගේ බඩු මලුවලට ලොබ බැඳ බොරුවට ස්වයං නිරෝධායන දැන්වීමක් ලබා ගැනීමට ගිය තමා වැටුණු අලි අමාරුව ගැනය.
Comments
Post a Comment