ගම හැරගිය මුතුමැණිකාටද නාගරික විසූකදස්සන සමාජීය ඇසුර නිරතුරුව ලැබුණ හෙයින් ඇගේ අභ්‍යන්තර, බාහිර ස්වරූපය වෙනස්විය. විශේෂයෙන්ම චීත්තයකින් සහ හැට්ටයකින් යුතු ඇඳුමකට පුරුදුව සිටි ඇය දැන් දිගු කලිසමකින් සැරසෙන්නීය. ඇයගේ භාෂා ව්‍යවහාරයෙන්ද වෙනස් විය. ඇයද ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතයට හුරුවිය.
නිවසින් බැහැරව සිට අවුරුද්දකින් පමණ තම මෑණියන් බැලීමට දවසක් ඇය තම නිවසට පැමිණෙන්නේ තවත් යෙහෙළියන් දෙදෙනකුද සමගය. නිවසට ගොඩවනවාත් සමගම සාලයේ පැදුරක වාඩිවී අතුල්පතක් වියමින් සිටි තම මව දුටු මුතුමැණිකා “අම්මේ මට නිතරම එන්න ටයිම් එකක් නෑ. අදත් මේ ආවේ මෙඩිකල් එකක් අරගෙන” යනුවෙන් තරමක සැරෙන් කීවාය. එසේ කී ඇය දෙස අම්මා බැලුවේ ඉතා අහිංසක සහ බියගුලු ස්වරූපයකිනි.
“හැමදාම එන්න ඕන්නෑ දුවේ” කියා ඩිංගිරි අම්මා තේ වතුර ටිකක් දුවට සහ අනෙකුත් දෙදෙනාට දීම පිණිස කුස්සියට ගොස් වතුර මුට්ටියක් ලිපේ තැබුවාය.
ඒ අතරතුර මුතුමැණිකා තම යෙහෙළියන්ද සමග අසළ ළිඳකට ගියේ මූණකට සෝදාගනු පිණිසය. ඒ අතරතුර ඩිංගිරි අම්මා දුව විසින් ගෙනෙන ලද පාර්සලය විවරකර බැලීමේදී ඇය දුටුවේ කේක් ගෙඩියකි. ඩිංගිරි අම්මා එය පෙති කීපයකට කපා ඇය පාවිච්චි කරන බෙලෙක් පිඟානක තබා මේසයක් මත තැබුවාය. ඩිංගිරි අම්මා තේවතුර සකස් කරන අතර මුතුමැණිකා සහ ඇගේ යෙහෙළියෝ දෙදෙනාද නිවසට ගොඩ වූහ. ඩිංගිරි අම්මා තම දුව ළඟට පැමිණ දුවේ අර මෙඩිකල් එක මම කැපුවා උඹලා මෙඩිකල් කෑල්ලක් කාලා මේ තේ වතුර ටික බීපල්ලා කියා කීවාය.
ඩිංගිරි අම්මාගේ එම ප්‍රකාශයෙන් ඇගේ දුව මුතුමැණිකා මෙන්ම ඇගේ අනෙකුත් යෙහෙළියෝ දෙදෙනාද මවිතයට හා විශ්මයට පත්වූහ. මුතුමැණිකා අම්මා ළඟට ගොස් “අම්මේ මොකක්ද කීවේ” කියා ඇසුවාය.
“එවිට අම්මා කීවේ ඇයි දුවේ උඹ කීවේ මෙඩිකල් එකක් අරගෙන ආවේ කියලා නේද? මම ඒක උඹේ බෑග් එකෙන් අරගෙන කැපුවා.”
එවිට අම්මාගේ කතාවේ තේරුම තිදෙනාටම වැටහිණි. අම්මා එහිදී හැසිරී ඇත්තේ රැවටී වැඩ කළේ මෙඩිකල් එක කියන්නේ කේක් එකට කියා සිතමිනි.
යෙහෙළියන් දෙදෙනා මුතුමැණිකාට කීවේ අම්මාට තේරෙන භාෂාවෙන් මෙය තේරුම් කරලා දුන්න නම් ඒ අම්මා මෙවැනි දෙයන් නොකියන බවයි. මුතුමැණිකා විලියෙන් ඇඹරී ගෙට යන අතර තම සිතට ගත්තේ ඇය නැවත එහෙම වචන අහුලාගෙන නොකියා සිටීමටය.
Comments
Post a Comment