සිය බල ප්‍රදේශයේ අවමංගල කටයුතු වලට වෙනත් මහජන නියෝජිතයින් යෑමට පෙර කලින්ම ගොස් එක දමා ගැනීමට අපූරු උපක්‍රමයක් යොදාගත් මහජන නියෝජිතයෙකු පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වේ. හේ දේශපාලනයට ආවේ පුංචිම පුංචි තැනකින්ය. ඒ නිරන්තරයෙන්ම මහජනතාව සමඟ ගැවසෙමිනි. ඔහු ඒ තත්ත්වයට එන්නට විඳි දුක් අපමණය. අනන්තය. ගමේ මෙන්ම නගරයේ මගුලට අවමගුලට පාට පක්ෂ නොබලා මුලින්ම ගියේ ඔහුය. කෙටියෙන්ම කියනවා නම් මොනම උත්සවයක් ගමේ තිබුණත් කලින්ම එක දා ගන්නේ ඔහුය. ගමේ අවමගුලක් වූ සැනින් ඔහු එතනය.
අනෙක් මහජන නියෝජිතයින් එන්න හිතන්නවත් කලින් ඔහු එම අවමගුල් ගෙදරය. ඇතැම් අවමගුල් වලට ඔහු යන්නේ එම අවමඟුල වූ ගෙවල්වල නැදැයින් දැනගන්නටත් පෙරය. මේ නිසාම බොහෝ මළ ගෙවල්වල අය මේ මහජන නියෝජිතයා දුටු ගමන්ම පුදුම වෙති. කොහොමද මෙතුමා මෙච්චර ඉක්මනින් මේක දැන ගත්තේ යන්න සමහරුන්ට ලොකු ප්‍රශ්නයකි. ඇතැම්හු මේ ගැන ඔහුගෙන් කෙළින්ම විමසති.
"අයියෝ මල්ලි ඉතින් මම ඉන්නේ මිනිස්සු එක්කනේ. ඒ අය දුකක් කරදරයක් වුණාම ඉතිං මට නොකියා කාට කියන්නද දැයි ඔහු ඔවුන්ගෙන් අසා සිටියි. හා ඒකන් ඇත්ත නේන්නම් යි ඔවුන් කියා ගනිති. එහෙත් එහි ඇත්ත තත්ත්වය නම් එය නොවේ. මුලින්ම එක දාගන්න මළ ගෙවල් වලට ඔහු යන්නේ කෙසේ දැයි අනෙක් මහජන නියෝජිතයින්ට ලොකු ප්‍රශ්නයක් වී තිබිණ. මේ පිළිබඳව කිට්ටුම හිතවතකු ඔහුගෙන් විමසූ විට ඔහු එම රහස එළි කළේ මෙහෙමය. මල්ලි ගමේ මළගෙයක් වුණාම මුලින්ම දැනගන්නේ කවුද?
එක්කෝ මල්ශාලා අයිතිකාරයා එහෙමත් නැත්නම් එතන දේහය එම්බාම් කරන එක්කෙනා. එහෙමත් නැත්නම් බෙරගහන අය. බොහෝ මිනිසුන් එක්ක කතා කරන්නෙවත් නැහැනේ. මම නම් දැක්ක තැන ඒ අයත්
අය ඒ මිනිස්සු එක්ක කතා කරනවා. කතා කරලා යාළු කරගෙන මගේ දුරකතන අංකය දෙනවා තමන්ට වැඩක් ආවම මට මිස් කෝල් එකක් ගහන්න කියලා. ඒ අයට ඉතින් අපි වගේ අයට කතා කරන්න ලැබෙන එකක් ලොකු හයියක්නේ. ඉතිං මරණයක් අපු ගමන්ම මට ඒ අයගෙන් මිස් කෝල් එකක් හරි කෝල් එකක් හරි එනවා. මම ඒ ඔස්සේ තොරතුරු හොයාගෙනයි මෙහෙම අනෙක් අයට කලින් මළ ගෙවල් වලින් එක දාගෙන ලකුණු දාගන්නේ යයි ඔහු කීවේ එක ඇසක් පොඩි කරමින් එය ඇසූ තැතැන්තාටද පොඩි තට්ටුවක් දමමින්ය.
Comments
Post a Comment